Gossips

විශේෂ මහාධිකරණය අද විවෘත වේ

දූෂණ සහ මූල්‍ය අපරාධ නඩු විභාග කිරීම සඳහා පිහිටුවනු ලබන විශේෂ මහාධිකරණය අද (21) විවෘත වනවා.
ඒ, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළගේ ප්‍රධානත්වයෙන්.
මූල්‍ය වංචා, දූෂණ, රජයේ වත්කම් සහ ආදායම් ගැන නඩු කඩිනම් කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල 3 කින් සමන්විත විශේෂ මහාධිකරණයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.
ඒ අනුවයි විශේෂ මහාධිකරණය පිහිටුවනු ලැබුවේ.
මහා පරිමාණ මූල්‍ය වංචා විමර්ශනය කරන විශේෂ මහාධිකරණය පිහිටුවීම සඳහා වූ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
ඒ අනුව යෝජිතව තිබුණේ විශේෂ මහාධිකරණ 3 ක් ස්ථාපිත කිරීමටයි.
එහි විනිසුරුවරුන් ලෙස සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න කටයුතු කරනු ඇති.
මේ අතර, විශේෂ මහාධිකරණයේ විභාග වන පළමු නඩුව එළඹෙන 24 වන දා කැදවීමට නියමිතයි.
ඒ අනුව හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකුට එදිනට විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පසුගිය දා සිතාසි නිකුත් කළා.
ඒ, ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය සාපරාධි ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් වන නඩුවට අදාළවයි.