Gossips

විශේෂ මහාධිකරණයේ නඩු විභාග අද ඇරඹේ

නඩු ප්‍රමාදවීම් මග හැරවීමේ අරමුණින් පිහිටවනු ලැබූ ප්‍රථම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ පවරන ලද පළමු නඩුව අද එම මහාධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි.
හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකුට විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පසුගියදා සිතාසි නිකුත් කලා.
ඒ, ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය සාපරාධි ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් වන නඩුවට අදාළවයි.
පසුගිය 21 වැනිදා දූෂණ සහ මූල්‍ය අපරාධ නඩු විභාග කිරීම සඳහා පිහිටුවනු ලැබූ ප්‍රථම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළගේ අතින් විවෘත කෙරුණා.
මේ අතර, ඞී.ඒ. රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේදී මුදල් අවභාවිත කළ බවට පැවසෙන සිද්ධියකට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 07 දෙනෙකුට නිකුත් කළ නොතිසී අවලංගු කොට එය ආපසු කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කර තිබෙනවා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගියදා, සැප්තැම්බර් මස 07 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට හිටපු ආරක්ෂක ලේකම්වරයාට නොතිසී නිකුත් කර තිබුණා.
නමුත් අදාළ නොතිසී නිකුත් කිරීම තුළ නෛතික වශයෙන් විශාල වරදක් සිදුව ඇති අතර, එය අභියාචනාධිකරණ නියෝගයකට පටහැනි බවයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ.
ඒ අනුව තමාට හිමි බලතල මත අදාළ නොතිසීය අවලංගු කරන බවට දැනුම් දී තිබෙනවා.