Gossips

විශේෂ පොලිස් කණ්ඩායමක් රත්මලානේ මෙහෙයුම් අරඹයි

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබෙනවා.
අද (26) උදෑසන ධනංජයගේ වැඩිමහල් සොහොයුරා වන සවිත්‍ර ද සිල්වාගෙන් පොලීසිය යළි ප්‍රකාශයක් ලබා ගත්තා.
ඔහු එහිදී සදහන් කර ඇත්තේ පසුගිය වෙසක් පොහොය දිනයේ අමල් සිංහාරා හෙවත් කුඩු අංජුගේ කණ්ඩායමේ පුද්ගලයෙකු සමග තමන් ඇති කර ගත් ආරවුලක් තම පියා ඝාතනය කිරීමට හේතුව ලෙස තමන් සැක කරන බවයි.
මත්ද්‍රව්‍ය ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අමල් සිංහාරා හෙවත් කුඩු අංජු මේ වනවිට විදෙස් ගතව සිටින අතර ඔහුගේ අනුදැනුම මත වෙනත් කණ්ඩායමක් විසින් මෙය සිදුකර ඇති බවට පොලීසිය සැක කරනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් 4 ක් පරීක්ෂණ පවත්වන අතර, පොලිස්පතිවරයාගේ නියමයෙන් තවත් විශේෂ පොලිස් කණ්ඩායමක් ද සිද්ධිය වූ රත්මලාන ප්‍රදේශයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළා.
එමෙන්ම, ඝාතනය සිදුකිරීමට පැමිණි පුද්ගලයන් සොයා මේ වනවිට ඒ ආසන්නයේ ඇති සී.සී.ටී.වී දර්ශන ද ලබාගෙන පරීක්ෂණ කටයුතු සිදුකරන බව ද පොලීසිය කියා සිටියා.
ඝාතනයට ලක්වූ නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වාගේ දේහය ඊයේ රාත්‍රියේ රත්මලානේ පිහිටි ඔහුගේ නිවස වෙත ගෙනවිත් තිබුණා.
සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණේ පෙරේදා රාත්‍රීයේයි.
නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වාට අවසන් ගෞරව දැක්වීම සදහා ක්‍රිකට් ක්‍රීඩකයින්, දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් ඔහුගේ නිවසට අද පැමිණියා.
එමෙන්ම, මහේල ජයවර්ධන, ලසිත් මාලිංග ඇතුළු සහෝදර ක්‍රීඩකයින් රැසක් ද ට්විටර් ගිණුම් ඔස්සේ ශෝකය පළ කර තිබෙනවා.
ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු අනිද්දා ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.