Gossips

විශේෂඥ වෛද්‍යවරුන්ට විශ්‍රාම යෑමට තවත් වසර 3 ක්

විශේෂඥ වෛද්‍යවරයෙකු විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63 දක්වා දීර්ඝ කර තිබෙනවා.
ඊට අදාළ ගැසට් නිවේදනය රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර විසින් පසුගිය සඳුදා නිකුත් කර ඇත්තේ පසුගිය වසරේ ජූනි මස 6 වන දින සිට බලපැවැත්වෙන පරිදියි.
මෙතෙක් විශේෂඥ වෛද්‍ය නිලධාරියෙකුගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 60 ක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණා.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාරගෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිගය හේතුවෙන් මෙම පියවර ගත් බවයි.
මේ අතර අතිකාල දීමනා ගැටළුවක් මුල් කරගනිමින් වයඹ පළාතේ පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් පලාතේ රෝහල් රැසක කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.
පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ හෙද, අතුරු වෛද්‍ය සහ පරිපූරක සේවාවල වෘත්තිකයින් මෙම වර්ජනයට එක්ව සිටින බවයි.
කෙසේ වෙතත් වයඹ පළාත පිහිටි මධ්‍යම රජයට අයත් රෝහල්වල මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන බවද ඔහු සඳහන් කළා.
එමෙන්ම ඌව පලාතේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයද අද දිනයේදි ලෙඩ නිවාඩු දමා පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක්ද සුදානම් කර තිබෙනවා.