Gossips

විශේෂඥ වෛද්‍යවරුන්ගේ ආදායම් බදු, සුව ඇමති අඩු කරයි,වෙනසක් නැහැ – මුදල් ඇමති

විශේෂඥ වෛද්‍යවරුන්ගේ ආදායම් බදු ප්‍රතිශතය අඩු කිරීමට තීරණයක් ගෙන නොමැති බව මුදල් අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව ඔවුන්ට පනවා තිබූ සියයට 24ක බදු ප්‍රතිශතය එලෙසම පවතින බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.
දේශීය ආදායම් පනතට අනුව මෙතෙක් අය කරන බදු ප්‍රතිශතවල කිසිදු වෙනසක් සිදුනොකරන බව ද මුදල් අමාත්‍යාංශය සදහන් කළා.
සෞඛ්‍ය අමාත්‍යවරයා සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, මුදල් අමාත්‍ය මංගල සමරවීර සමඟ පසුගිය සිකුරාදා පැවති සාකච්ඡාවේදී ආදායම් බදු ප්‍රතිශතයේ වෙනස්කමක් ගැන තීරණයක් නොගත් බව ද එම නිවේදනයේ දැක්වෙනවා.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ බදු ගණනය කිරීමේ ක්‍රමවේදය අනුව යම් සහනයක් ලබාදීම කෙරෙහි පමණක් එම සාකච්ඡාවේදී එකඟතාවය පළ වූ බවයි මුදල් අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේ.
කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ කියා සිටියේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් අය කරන ආදායම් බද්ද සියයට 15 දක්වා අඩු කරන බවයි.
වෛද්‍යවරුන්ගේ ආදායම මත අය කරන සියයට 24ක බද්ද මීට පෙර තිබූ සියයට 12 දක්වා අඩු කරන ලෙස වෛද්‍යවරුන් කළ ඉල්ලීම සලකා බලා මෙම පියවර ගත් බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
වෛද්‍යවරුන්ගෙන් සිදුවන සුවිශේෂී සේවය සලකා බලා ඔවුන්ගෙන් අය කරන ආදායම් බද්ද සියයට 15 දක්වා අඩු කිරීමට මුදල් අමාත්‍යවරයා සමඟ විශේෂඥ වෛද්‍යවරුන් සිදුකළ සාකච්ඡාවකින් පසුව එකඟ වූ බවයි ඔහු කියා සිටියේ.