Gossips

විශිෂ්ඨත්වය යළි තහවුරු කරමින්, ස්ලිම් නීල්සන් ජනතා සම්මාන 9න්, 6ක්, හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. දිනා ගනී

විශිෂ්ඨත්වය යළිත් තහවුරු කරමින් 2018 ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 5 වන වරටත් විද්‍යුත් මාධ්‍ය සඳහා වන ප්‍රමුඛ සම්මාන සියල්ල දිනා ගනිමින් ජනතාවගේ විශිෂ්ඨතම නාලිකා ලෙස නැවතත් පිදුම් ලැබීමට හිරු එෆ්.එම්. සහ හිරු ටී.වී. සමත් වුණා.
ඒ අනුව ස්ලිම් නීල්සන් විද්‍යුත් ජනතා සම්මාන 9න් 6ක්ම හිමි කර ගනු ලැබුවේ හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්.
වසරේ විශිෂ්ඨතම රූපවාහිනී නාලිකාව, වසරේ විශිෂ්ඨතම ගුවන් විදුලි නාලිකාව, වසරේ විශිෂ්ඨතම ප්‍රවෘත්ති නාලිකාව, වසරේ තාරුණ්‍යයේ විශිෂ්ඨතම ගුවන් විදුලි නාලිකාව, වසරේ විශිෂ්ඨතම ගුවන් විදුලි වැඩසටහන සහ වසරේ විශිෂ්ඨතම රූපවාහිනී නිවේදකයාට හිමි ජනතා සම්මානය හිරුට හිමි වුණා.
සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් 13 වන වරටත් මෙම සම්මාන උළෙල කොළඹ දී ඊයේ පැවැත්වුණේ හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. යළිත් මෙරට මාධ්‍ය කලාවේ ප්‍රමුඛයා බවට තහවුරු කරමින්.
වසරේ විශිෂ්ඨතම ගුවන් විදුලි වැඩසටහන බ්‍රෙක්ෆස්ට් ඩ‍්‍රයිව් ඩී.ජේ. අරා ඇන්ඩ් පැස්බරා සහ වසරේ විශිෂ්ඨතම රූපවාහිනී නිවේදකයාට හිමි සම්මානය රංගන සිල්වාට ද හිමි වුණා.
එමෙන්ම වසරේ විශිෂ්ඨතම ප්‍රවෘත්ති නාලිකාව ලෙස සිව් වන වරටත් හිරු ටී.වී. පිදුම් ලැබුවා.
හිරු ටී.වී., හිරු එෆ්.එම්. ලබාගත් මෙම ජනතා සම්මාන පිටුපස සිටින නියමුවා වන්නේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතායි.

ඔහුගේ සංකල්පයක් මත ආරම්භවුණු හිරු ටී වී සහ හිරු එෆ්.එම්. නාලිකා, ඔහුගේ මඟ පෙන්වීම යටතේ මේ වනවිට ශ්‍රී ලංකාවේ මාධ්‍ය කලාව, නව මානයකට යොමුකර අවසන්.
ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේදී හිරු ටී වී සහ හිරු එෆ්.එම්. ලබාගත් මෙම සම්මාන පිළිබඳව සුභාශිංසන එක් කරමින් ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකීය මාධ්‍ය කලාව නව මගකට ඔසවා තැබීම සඳහා වූ සිය දැක්ම යළි යළිත් මෙරට ජනතාව තහවුරු කර ඇති බවයි.
ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් හිරු ටී.වී. හිරු එෆ්.එම්. වෙත හිමිවන මෙවැනි සම්මාන නිසැකවම අප දිරිමත් කරන බව ද ඔහු සඳහන් කළා.
ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේ හිරු ටී.වී., හිරු එෆ්.එම්. ලබන මෙම සියලු ජයග්‍රහණවල සැබෑම හිමිකරුවා අප සමඟ බැඳුණු ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් සහ ශ්‍රාවකයන් බවයි.