Gossips

විශාලම හෙරොයින් තොගය සමග ඇල්ලූ දෙදෙනාගෙන් – බංග්ලාදේශ නිලධාරින් ප්‍රශ්න කරයි

මෙරට ඉතිහාසයේ සොයා ගත් විශාලතම හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට ගනු ලැබූ බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාගෙන් බංග්ලාදේශ මත්ද්‍රව්‍ය පාලන දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඊයේ ප්‍රශ්න කර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් 6 දෙනෙකු පෙරේදා රාත්‍රියේ දිවයිනට පැමිණියේ මෙරට සිදුකෙරෙන පරීක්ෂණවලට සහය වීම සදහායි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සදහන් කළේ එම කණ්ඩායම ඊට පෙර බංග්ලාදේශයේදී අදාළ සැකකරුවන්ගේ නිවෙස් වෙත ගොස් පරීක්ෂණ පවත්වා ඇති බවයි.
ඔවුන් අදාළ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කර ඇත්තේ කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ රදවා සිටියදීයි.
එලෙස බංග්ලාදේශයේදී සහ මෙරටදී ඔවුන්ගෙන් ලද තොරතුරු බංග්ලාදේශ කණ්ඩායම විසින් මෙරට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් සමග අද උදෑසන හුවමාරු කරගෙන තිබෙනවා.
එමෙන්ම, එම කණ්ඩායමේ නියෝජිතයන් අද පස්වරු 3 ට පොලිස්පතිවරයා ද හමුවීමට නියමිතයි.
ඔවුන් ලබන 21 වනදා දක්වා දිවයිනේ රැදී සිටින බවයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.
පසුගිය වසරේ දෙසැම්බර් 31 වන දා දෙහිවල ප්‍රදේශයෙන් රුපියල් මිලියන 3336කට ආසන්න වටිනාකමකින් යුත් මෙරට ඉතිහාසයේ විශාලතම හෙරොයින් තොගය වන කිලෝග්‍රෑම් 278 ක් සමගින් බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
එසේම රුපියල් මිලියන 75කට අධික කොකේන් කිලෝග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් ද එම නිවස තුළ තිබී සොයා ගැනුණා.
එම බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනා රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලිීසියට අවසර ලබා දුන්නා.
මෙරට මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානය ලෙස සැලකුණු දෙහිවල – නිවසේ සිට අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතිකයන් මෙහෙයවා ඇත්තේ බංග්ලාදේශ ජාතික කාන්තාවක විසින් බව දැන් අනාවරණ වී තිබෙනවා.
මෙරට මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලයේ මහ මොළකාරිය ලෙස සැලකිය හැකි ඇය, අත්අඩංගුවට ගැනීම සඳහා දැන් පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.
ඒ සඳහා මේ වන විට අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන ඇති අතර ජාත්‍යන්තර පොලීසිය වෙත දැනුම් දීමක් ද කර තිබෙනවා.
දැන් දිවයිනට පැමිණ සිටින බංග්ලාදේශ මත්ද්‍රව්‍ය පාලන දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඇය පිළිබද බංග්ලාදේශයෙන් රැස් කර ගත් තොරතුරු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත ලබා දී ඇති බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියා කියා සිටියා.