Gossips

විශාලතම හෙරොයින් තොගය සමග අත්අඩංගුවට ගත් පුද්ගලයන් රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට අවසර

කොල්ලූපිටිය සුපිරි වෙළද සංකීර්ණයක රථ ගාලක් තුළ දී රුපියල් මිලියන 2945කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සමඟ ඇල්ලූ දෙදෙනා දින 7ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අද අවසර හිමි වුණා.
ඒ, සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ සිදුකළ වැටලීමකදීයි හෙරොයින් කිලෝ 294 යි ග්‍රෑම් 49 ක් සමග සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනුනේ.
සුපිරි වෙළඳසැලක නවතා තිබූ වෑන් රථ දෙකක තිබී මෙම හෙරොයින් තොගය හමුවී තිබුණා.
මෙම හෙරොයින් තොගය ඩුබායි සිට මෙරටට රැගෙන විත් ඇති බවට තොරතුරු හෙළිවී තිබෙනවා.
ඒ අනුව මේ වනවිටත් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසන්නේ.
එමෙන්ම මේ වනවිට ඩුබායි හි අත්අඩංගුවේ සිටින පාතාල නායකයන් වන මාකඳුරේ මධුෂ් සහ කංජිපානි ඉම්රාන් මෙම හෙරොයින් තොගය මෙරටට රැගෙන ඒම පිටුපස සිටින්නේද යන්න පිළිබඳව විමර්ශනයක් සිදුකරන බව වාර්තා වනවා.
ඒ පිළිබඳව අනුමාන කළ හැකි සාධක ලැබී ඇති බවද සඳහන්.
මේ අතර මෙරටින් හමුවූ විශාලතම හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම වැටලීම සිදුකළ නිලධාරීන්ට ස්තූතිය පළ කර තිබෙනවා.
මෙම ක්‍රියාව අනාගත දූදරුවන් වෙනුවෙන් කළ උදාර මෙහෙවරක් බවයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.
ඉදිරියේදී සිදුකරන මෙවන් මෙහෙවර වෙනුවෙන් තම පූර්ණ සහය සහ ආශිර්වාදය නිරන්තරයෙන් ලබාදනෙ බව ජනාධිපතිවරයා සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
මේ අතර මෙරටින් සොයාගත් විශාලතම හෙරොයින් තොගය නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත පැමිණ තිබුනා.