Gossips

විශාලතම මත්කුඩු තොගය එවූ ඩුබායි හි සිටින පාතාල නායකයන් 5 කට වරෙන්තු

විශාලතම හෙරොයින් තොගය මෙරටට එවූ ඩුබායි හි සැඟව සිටින පාතාල නායකයන් වන මොරිල් සහ කොස්ගොඩ සුජී ඇතුලූ පාතාල නායකයන් පස්දෙනෙකුට අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මොවුන්ට එරෙහිව අධිකරණ වරෙන්තු මත අන්තර්ජාතික පොලීසිය මගින් ඉදිරියේදී නිල් නිවේදන ලබාගැනීමට නියමිතයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ විශාලතම හෙරොයින් තොගය සමඟ පසුගියදා අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාද අධිකරණය මගින් මේ මස 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ බවයි.
කොල්ලූපිටියේ සුපිරි වෙළඳ සංකීර්ණයක රථගාලේ වෑන් රථ දෙකක තිබියදී රුපියල් මිලියන 2945කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා.
එහිදි සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගනු ලැබූ අතර, මෙම වැටලීම සටහන් වූයේ මෙරට ඉතිහාසයේ සිදුකළ වැඩිම වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු වැටලීම බවටයි.
ඉන් අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පුළුල් විමර්ශනයක් ආරම්භ කළ අතර, එහිදී ඩුබායි හි සැඟව සිටින මයිකල් මොරිල්, කොස්ගොඩ සුජී ඇතුලූ පාතාල නායකයන් පස්දෙනෙකු මෙම විශාලතම මත්කුඩු තොගය මෙරටට එවා ඇති බවට අනාවරණ වුණා.