Gossips

විශ්වාසභංග යෝජනා ඡන්ද විමසීමට සහභාගී නොවූ මන්ත්‍රීවරුන් ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 46 කින් ඊයේ පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුණා.
විශ්වාසභංගයට විරුද්ධව ඡන්ද 122 ක් ලැබුණු අතර, පක්ෂව ලැබුණේ ඡන්ද 76 ක් පමණයි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් 105 දෙනෙකු, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 16 දෙනා සහ ඊ.පී.ඩී.පී. සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්දා මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කළා.
පසුගියදා අමාත්‍ය ධුර වලින් ඉවත් කෙරුණු විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාද අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා කිරීම විශේෂත්වයක්.
යෝජනාවට පක්ෂව ඒකාබද්ධ විපක්ෂය සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ඡන්දය භාවිත කර තිබුණා.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂද විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළ අතර, නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, එස්.බී. දිසානායක, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, සුසිල් ප්‍රේමජයන්ත, ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩිලාන් පෙරේරා, ටී.බී. ඒකනායකද යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.
එමෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, අනුරාධ ජයරත්න, සුමේධා ජී. ජයසේන, සුසන්ත පුංචිනිලමේ සහ තාරානාත් බස්නායක ඇතුලූ පිරිසක් පක්ෂව ඡන්දය භාවිත කළ බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.
කෙසේ වෙතත් මන්ත්‍රීවරුන් 26 දෙනෙකු ඡුන්දය භාවිත කරන අවස්ථාවේ පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැහැ.
ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කල විශ්වාස භංග යෝජනාවට අත්සන් තැබූ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්ථාන්ද ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තුවට පැමිණ නොසිටීම විශේෂත්වයක්.
එමෙන්ම නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් වන මලිත් ජයතිලක, ආරුමුගම් තොන්ඩමන්, වීරකුමාර දිසානායක, අංගජන් රාමනාදන් සහ පාර්ලිමේන්තුව තුළ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද ඡුන්දය විමසන අවස්ථාවේ සභාවේ සිටියේ නැහැ.
විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කළ නිදහස් පක්ෂයේ ඇමතිවරුන් එම ධුරවලින් ඉවත් කරන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අග්‍රාමාත්‍යවරයාගෙන් ඊයේ රාත්‍රියේ ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.
ඡන්ද විමසීමට සහභාගී නොවූ මන්ත්‍රීවරුන්
1. මහින්ද අමරවීර
2. සරත් අමුණුගම
3. නිමල් සිරිපාල ද සිල්වා
4. දුමින්ද දිසානායක
5. ෆයිසර් මුස්තාෆා
6. මහින්ද සමරසිංහ
7. රංජිත් සියඹලාපිටිය
8. විජයමුණි සොයිසා
9. පියසේන ගමගේ
10. මොහාන් ලාල් ග්‍රේරු
11. ශ්‍රියානි විජේවික්‍රම
12. ලක්ෂ්මන් සෙනෙවිරත්න
13. ඒ.එල්.එම්. හිස්බුල්ලා
14. ඒ.එච්.එම්. ෆවුසි
15. ලසන්ත අලගියවන්න
16. සාරථී දුෂ්මන්ත
17. මනූෂ නානායක්කාර
18. ඉන්දික බණ්ඩාරනායක
19. විරකුමාර දිසානායක
20. නිශාන්ත මුතුහෙට්ටිගම
21. කාදර් මස්තාන්
22. පුජ්‍ය අතුරලියේ රතන හිමි
23. මලිත් ජයතිලක
24. ආරුමුගම් තොණ්ඩමන්
25. අංගජන් රාමනාදන්
26. මුත්තු සිවලිංගම්
ඊයේ (04) පෙරවරුවේ ආරම්භ වූ විවාදයේ ඡන්ද විමසීම ආරම්භ වූයේ රාත්‍රි 9.30 ටයි.
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රජය නියෝජනය කරන ඇතැම් දේශපාලන පක්ෂ අග්‍රාමාත්‍යවරයාට සහය පළ කර ඇතත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඇත්තේ මත දෙකක්.
විශ්වාසභංග යෝජනාව ඊයේ (04) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡා දෙකක් පැවැත්වුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මලලසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී පැයක පමණ සාකච්ඡාවක නිරත වූ අතර, අනතුරුව ඔවුන් යළිත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතාගේ නිවසේදී සාකච්ඡාවකට එක්වුණා.
කෙසේ වෙතත් ඊට ජනාධිපතිවරයා සමග සාකච්ඡාවට එක්වූ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියේ නැහැ.
රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා සඳහන් කළේ විශ්වාසභංග යෝජනාවේදී ඡන්දය දීමෙන් වැළකී සිටීමට ජනාධිපතිවරයා සමග උදෑසන සිදුකළ සාකච්ඡාවේදී තීරණය කළ බවයි.
කෙසේ වෙතත් සන්ධාන මහලේකම්වරයාගේ නිවසේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඒ.එච්.එම්. ෆවුසි අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළා.
ඔහු සඳහන් කළේ නිදහස් පක්ෂ රැස්වීමේදී තීරණය කරනු ලැබුවේ විශ්වාසභංගයට පක්ෂය ඡන්දය ලබාදීමට බවයි.
මේ අතර, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමද ඊයේ (04) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා.
පැයකට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡාවේදී විශ්වාසභංගයට මුහුණදෙන ආකාරය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
මේ අතර, එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මනෝ ගනේෂන් අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, රවුෆ් හකීම් අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන
කොංග්‍රසය තීරණය කර ඇත්තේ විශ්වාසභංග යෝජනාවේදී අග්‍රාමාත්‍යවරයාට සහය පළ කිරීමටයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 55 දෙනෙකුගේ අත්සනින් ඒකාබද්ධ විපක්ෂය අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාදෙනු ලැබුවේ මාර්තු 21 වැනිදායි.