Gossips

විශ්වාසභංග ඡන්දයට හෝර කිහිපයක් තිබියදී නිදහස් පක්ෂය දෙපැත්තකට යයි – රංගේ සහ වසන්ත මතය වෙනස් කරයි

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට ඡන්දය ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මත දෙකක් පවතින බව මේ වනවිට අනාවරණ වී තිබෙනවා.
අද උදෑසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වූ අතර, එම රැස්වීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ විශ්වාසභංග ඡන්ද විමසීමේදී නිදහස් පක්ෂය ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීරණය කළ බවයි.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීරගේ නිවසේ පැවති එම සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා සඳහන් කළා.
කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ රාජ්‍ය අමාත්‍ය එච්.එම්. ෆවුසි විසින් සිදුකළ ප්‍රකාශය අසත්‍යය බවයි.
අදාළ රැස්වීමේදී නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කරනු ලැබුවේ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදීමට බව ඔහු සඳහන් කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ විශ්වාසභංග යෝජනාවට ශ්‍රීී ලංකා නිදහස් පක්ෂය ඡන්දය ලබාදෙන ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.
කෙසේ වෙතත් අමාත්‍ය එස්.බී. දිසානායක සඳහන් කළේ විශ්වාසභංග යෝජනාවට අදාළව ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය ලබාදීමට තීරණය කළ බවයි.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමද අද උදෑසන අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වුණා.
විශ්වාසභංග යෝජනා විවාදයට පෙර පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම අදහස් පළ කරමින් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය අග්‍රාමාත්‍යවරයාට පක්ෂව ඡන්දය භාවිත කරන බවයි.
මීට අමතරව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසය අද පැවැත්වෙන විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේදී අග්‍රාමාත්‍යවරයාට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.
එමෙන්ම විශ්වාසභංග ඡන්ද විමසීමේදී දෙමළ ජාතික සන්ධානය ඡන්දය ප්‍රකාශ කරන ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නැහැ.
ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අදත් අවස්ථා කිහිපයකදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැස්වී තිබුණා.
විශ්වාසභංග ඡන්ද විමසීමට පෙර රාජ්‍ය අමාත්‍යවරුන් වන පාලිත රංගේ බණ්ඩාර සහ වසන්ත සේනානායක මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ තමන් විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය භාවිත කරන බවයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ විශ්වාසභංග යෝජනාවට අදාළව ඡන්ද විමසීමේදී ඡන්දය ලබාදීමෙන් වැළකී සිටින බවයි.