Gossips

විශ්වාසභංගය ගැන තීරණයක් ගන්න – දෙමළ සන්ධානය තුන්වැනිදා රැස්වේ

ඒකාබද්ධ විපක්ෂය අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාසභංගයට සහය පළ කරන්නේ ද නැද්ද යන්න පිලිබඳව තීරණය කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය ලබන මස 3 වනදා රැස්වනවා.
එම කණ්ඩායම් රැස්වීමෙන් පසුව,ඒ පිළිබඳව අවසන් තීරණය ගැනීමට නියමිත බවයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා සඳහන් කළේ.
ලංකා කම්කරු කොංග්‍රසයේ පාර්ලිමේන්තු කණ්ඩායම ද ඉදිරි දිනයකදී රැස් වී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංගය පිළිබඳව තීරණයකට එළඹෙනු ඇති.
එමෙන්ම, ඉදිරිපත් වී ඇති විශ්වාසභංගය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයින් අතර සාකච්ඡාවක් ඉදිරි දින කිහිපයේදී පැවැත්වීමට නියමිතයි.
අමාත්‍ය මනෝ ගනේෂන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඉදිරි දින කිහිපයේදී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජාතික හෙළ උරුමය ඇතුළු අනෙකුත් පක්ෂවල නායකයින් සමඟ එම සාකච්ඡාව සිදුකිරීමට නියමිත බවයි.
මේ අතර, එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානය ද කොළඹ අද (23) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ පක්ෂ නායකත්වය වෙනස් විය යුතු බවයි.
එහිදී අදහස් දැක්වූ එම සංවිධානයේ ලේකම් එස්.ආර්.එම් වික්‍රමසිංහ කියා සිටියේ පක්ෂ නායකත්වයෙන් වෙනසක් සිදුනොවුණහොත් පාක්ෂිකයන් සමඟ කොළඹට පැමිණ සත්‍යග්‍රහයක නිරත වන බවයි.