Gossips

විශ්වාසභංගයට පක්ෂ වූ SLFP මැති ඇමතිවරුන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ඡන්ද දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් අද මාධ්‍යම රාත්‍රියේ සිට ජාතික ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
අද රාත්‍රියේ පැවැති සාකච්ඡාවේදී ඒ සදහා ජනාධිපතිවරයාගේ අවසරය හිමි වූ බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සදහන් කළා.
අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරු 16 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කළා.
එලෙස ඡන්දය ප්‍රකාශ කළේ එස්.බී දිසානායක, දයාසිරි ජයසේකර, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම විරක්කොඩි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා, අනුරාධ ජයරත්න, සුමේධා ජී. ජයසේන, ටී.බී. ඒකනායක, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, සුසන්ත පුංචිනිලමේ, තාරානාත් බස්නායක යන අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් සමග නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතායි.
විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අමාත්‍යවරුන් 15 දෙනා සහ නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා අද පස්වරුවේ ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක නිරත වුණා.
ඒ, මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේදී.
දීර්ඝ අදහස් හුවමාරුවකින් අනතුරුව අමාත්‍යවරුන් 15 දෙනා සහ නියෝජ්‍ය කථානායකවරයා අද මධ්‍යම රාත්‍රි යේ සිට සිය තනතුරුවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
මේ අතර අමාත්‍ය එස් බී දිසානායක සඳහන් කළේ ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබඳ ඉදිරියේදී පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවා තීරණයක් ගන්නා බවයි.
මේ අතර නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද හෝ හෙට පැවැත්වෙන බවට මීට පෙර වාර්තා පළවුවත් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි නිදහස් පක්ෂ මූලස්ථානයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.