Gossips

විශ්වාසභංගයට අත්සන් කළ බව රාජ්‍ය ඇමති ටී.බී ඒකනායක කියයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගය සඳහා අද (17) දිනයේත් අත්සන් ලබාගන්නා බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කළා.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ අද මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු හමුවී ඒ සඳහා අත්සන් ලබාගැනීමට කටයුතු කරන බවයි.
බොහෝ මන්ත්‍රීවරුන් කොළඹින් පිට ප්‍රදේශවලට ගොස් ඇති නිසා සියලු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගැනීම අද දිනයේ සිදුකළ නොහැකි බවද ඔහු සඳහන් කළා.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද වෙනමම මෙම විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් ලේඛනයක් සකස් කරමින් සිටින බවද අදාළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන එන විශ්වාසභංගය සඳහා අත්සන් තැබීම ආරම්භ වූ ඊයේ (16) දිනයේදී ඊට මන්ත්‍රීවරුන් 40 දෙනෙකු අත්සන් තබා තිබුණා.
විශ්වාසභංග යෝජනාව කරුණු 14 කින් සමන්විත වන අතර, ඉන් කරුණු 12 ක්ම සම්බන්ධ වන්නේ මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළවයි.
මේ අතර, ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක කොළඹ ඊයේ (16) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමන් ද අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් තැබූ බවයි.