Gossips

විශ්වවිද්‍යාල විභාග කටයුතුවලට බාධා

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල විසින් ආරම්භ කර ඇති අඛණ්ඩ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලවල විභාග කටයුතු සඳහා බාධා එල්ල වී තිබෙනවා.
පසුගිය බදාදා ආරම්භ කළ මෙම වර්ජනයට අදට (03) දින 4 ක්.
මේ හේතුවෙන් කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර සහ පේරාදෙණිය ඇතුලූ විශ්වවිද්‍යාල කිහිපයක දෛනික කටයුතු අඩාල වී ඇති බව සඳහන්.
එමෙන්ම, විශ්වවිද්‍යාල බාහිර සිසුන්ගේ විභාග කටයුතු දින නියමයක් නොමැතිව කල් දමා ඇති අතර, නවක සිසුන්ට ද දින නියමයක් නොමැතිව නිවාඩු ලබාදී ඇති බවයි විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ප්‍රකාශ කළේ.
අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ වර්ජනයත් සමග සති අන්තයේ කටයුතු පවත්වාගෙන යාමට සහ පාඨමාලා පැවැත්වීමට බාධා එල්ලවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
එසේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතුවලටද මෙම වර්ජනයෙන් බාධා මතුව ඇති බවයි එම විශ්වවිද්‍යාලයෙ උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් පසුගිය බදාදා සිට ආරම්භ කළ අඛන්ඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කළා.
එහි සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ කියා සිටියේ එකඟවූ පරිදි දීමනා නොගෙවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.