Gossips

විල්පිට වනයේ එස්.ටී.එෆ් මෙහෙයුම නවතී ආරක්ෂාවට මාර්ග බාධක

පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ පසුගියදා ඇති වූ වෙඩි හුවමාරුවේදී පලාගිය පාතාල සාමාජිකයින් දෙදෙනා සොයා පොලිස් විශේෂ කාර්ය බලකාය අකුරැස්ස – විල්පිට රක්ෂිතයේ සිදුකළ විශේෂ මෙහෙයුම මේ වනවිට නතර කර තිබෙනවා.
කෙසේ වෙතත් විල්පිට රක්ෂිතයට ඇතුලූ වන සහ පිටවන සියලූ මාර්ග අවහිර කරමින් විශේෂ මාර්ග බාධක යොදවා ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.
ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන මාකදුරේ මධූෂ්ගේ දකුණේ ප්‍රධානතම ගෝලයෙකු වන මානෙල් රෝහණ හෙවත් තිලක් නමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වුණේ පසුගිය 25 වනදායි.
මොහුත් සමඟ සිටි අනෙක් දෙදෙනා සිද්ධිය වන අවස්ථාවේ පළාගිය අතර ඔවුන් සොයා විල්පිට වනයේ පොලිස් විශේෂ කාර්ය බලකාය පසුගිය දින දෙකේ මෙහෙයුමක් ආරම්භ කළේ ඉන් අනතුරවයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රකාශකයා තවදුරටත් කියා සිටියේ් දකුණු පළාතේ ක්‍රියාත්මක වන පාතාල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා මේ දිනවල විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කර ඇති බවයි.
ඒ සඳහා විශේෂ කණ්ඩායම් කිහිපයක් ද යොදවා තිබෙනවා.
මේ අතර, මාතර නගරයේ ස්වර්ණාභරණ වෙලඳසැලක් කොල්ල කෑමේ සිද්ධියට සම්බන්ධ තවත් පාතාල කල්ලි සාමාජිකයන් තුන්දෙනෙකු සොයා මේ වනවිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
මෙම කොල්ලය සම්බන්ධයෙන් පාතාල කල්ලි සාමාජිකයෙකු වන කොස්ගොඩ තාරක නමැත්තා ඇතුළු තුන්දෙනෙකු අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ මේ වනවිට රදවා සිටිනවා.
තාරක නමැත්තා අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට රැගෙන එන අවස්ථාවේ ඔහුට උණුසුම් පිලිගැනීමක් හිමිව ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බවයි එම බන්ධනාගාරයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් වාර්තා පළ වීමත් සමඟ බන්ධනාගාරයේ සීසීටීවි කැමරා දර්ශණ පරීක්ෂාවට ලක් කළ බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියා.
එමෙන්ම දැනට අත්අඩංගුවේ පසුවන තාරක නමැත්තාගේ මව ලග තිබී සොයාගත් ජංගම දුරකතනයේ සිම් කාඩ් පත ඔස්සේ ද පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.