Gossips

විල්පත්තු නඩුවෙන් නිදහස් කරන්නැයි ඇමති රිෂාඩ් කළ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් තමන්ට එරෙහි නඩුවෙන් නිදහස් කරන ලෙස ඉල්ලා අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සිදු කළ ඉල්ලීම අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළා.
ඒ අනුව, එම නඩුව විභාගයට ගැනීමටයි අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල තීරණය කළේ.
මේ අනුව, ලබන නොවැම්බර් 12 වනදා එම නඩුව විභාගයට ගන්නා බව ද විනිසුරු මඩුල්ල දැනුම් දුන්නා.
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු අභියාචනාධිකරණය හමුවේ පසුගියදා පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවා.
ඒ මීට පෙර නීතිඥවරයා සහ තවත් පාර්ශවයක්, විල්පත්තු විලත්තිකුලම් රක්ෂිතයේ පදිංචි කිරීම් සම්බන්ධයෙන් අමාත්‍යවරයාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සමක කරුණු දැක්වීම් පදනම් කර ගනිමින්.
එම නඩුවේදී දිවුරුම් ප්‍රකාශයක් ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ 1990 වසරේ එල්.ටී.ටී.ඊ සංවිධානය අදාළ ප්‍රදේශ යටත් කර ගැනීමට පෙර සිටම මුස්ලිම් ජනතාව එම ප්‍රදේශයේ පදිංචිව සිටි බවයි.
කෙසේ වෙතත්, මිනුම්පතිගේ වාර්තා අනුව එවැනි ජනාවාසයක් තිබී නොමැති බව තහවුරු වන බැවින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අධිකරණය නොමග යවා අපහාසයක් සිදුුකර ඇති බවට පවසමිනුයි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු නව පැමිණිල්ල ගොනුකර තිබුණේ.