Gossips

විල්පත්තුව නිසා, පාර්ලිමේන්තුව උණුසුම් – බදියුර්දීන් තේරීම්කාරක සභාවක් ඉල්ලයි – අනුර යාපාගෙන් දැඩි චෝදනා

හිරු ප්‍රවෘත්ති ඔස්සේ 2014 වසරේ සිට අනාවරණ කළ විල්පත්තු වන විනාශය සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල දැඩි කතාබහකට ලක්ව ඇත්තේ ඊට වගකිව යුතු පාර්ශවයන්ට තවමත් කිසිදු දඩුවමක් ලැබී නොමැති පසුබිමකයි.
විල්පත්තු වන විනාශය පිළිබදව අද පාර්ලිමේන්තුවේදීද අවධානය යොමු කෙරුණා.
ඒ, ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අමාත්‍ය රිෂාද් බදියුර්දීන්ට ස්ථාවර නියෝග යටතේ යොමුකළ ප්‍රශ්නයක් සමඟයි.
එම ප්‍රශ්නය විමසීමත් සමග උණුසුම් සංවාදයක් හට ගත් අතර, ඊට කතානායක කරූ ජයසූරිය ද මැදිහත් වුණා.
මේ අතර, විල්පත්තු රක්ෂිතය ආසන්නයේ ඇති විලත්තිකුලම් රක්ෂිතය නීතිවිරෝධී ආකාරයෙන් හෙලි පෙහෙලි කර ජනාවාස ඇති කිරීමට කටයුතු කර ඇති බව පවසමින් නාගානන්ද කොඩිතුවක්කු හා මාධ්‍යවේදී මලින්ද සෙනෙවිරත්න යන අය විසින් පවරා තිබූ රීට් පෙත්සම ලබන ජුනි 28 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.
මෙම පෙත්සමෙන් අමාත්‍ය රිෂාද් බදියුර්දීන්, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ වන සංරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසක් වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.
මේ අතර, අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ වත්කම් බැරකම් පිළිබඳව සොයා බලන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත මහජන අයිතීන් සුරැකීමේ පදනම අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
අනතුරුව ඔවුන් අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් ඔහුගේ රුව සහිත ඡායාරූපයක් ගිනි තබා විනාශ කළ බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.