Gossips

විල්පත්තුවේ සංචාරක බංගලා තාවකාලිකව වැසේ (ඡායාරූප)

පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් විල්පත්තුවේ ස්ථාපිත සංචාරක බංගලා වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
වනෝද්‍යාන භාර නිලධාරීන් මෙම පියවර ගෙන ඇත්තේ එම බංගලාවල නවීකරණ කටයුතු ද සිදු කිරීමේ අරමුණින්.
මේ හේතුවෙන් ඊයේ සිට ලබන මස පළමුවනදා දක්වා සංචාරකයන්ට තාවකාලිකව මෙම බංගලා ලබා නොදෙන බවයි වනජීවී සංචාරක අංශය සඳහන් කර ඇත්තේ.
අප වාර්තාකරු කියාසිටියේ ජනවාරි මාසයෙන් පසු නිසි වර්ෂාපතනයක් නොමැති වීමෙන් විල්පත්තු වනෝද්‍යානයේ ප්‍රධාන විල් 27 ක් සහ වැව් 7 ක් සිඳී යමින් පවතින බවයි.
මෙම තත්වය මත වන සතුන් ද ජලය සොයා වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීම ආරම්භ කර ඇතැයි සඳහන්.
මේ අතර පවතින වියළි කාලගුණ තත්ත්වය සහ වන සතුන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 01 කොටස මාස දෙකක කාලයක් සඳහා වසා දැමීමට ද වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, එම කාලය තුළ කතරගම ගල්ගේ පිවිසුමෙන් යාල කලාප අංක දෙක, තුන සහ හතර යන කොටස්වලට සංචාරකයින්ට ඇතුළු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කලාප අංක 01 කොටස තුළ මාර්ග පද්ධති අලුත්වැඩියා කිරීම, වනජිවින්ට නිදහසේ හැසිරීමට අවස්ථාව ලබාදීම සහ වියළි කාලගුණික තත්ත්වයත් සමඟ සතුන් දඩයම් කිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි වනජිවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ඡායාරූප – පුත්තලම ප්‍රියංකර කලුපහන