Gossips

විරැකියාව ඉහළට

මෙරට විරැකියා ප්‍රතිශතය 2018 වසරේ සිව්වන කාර්තුවේදී සියයට 4.6 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තුන්වන කාර්තුවේදී එය සටහන් වූයේ සියයට 4.1 ක් ලෙසයි. ජනනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුව තුන්වන කාර්තුව අවසානයේ විරැකියාවෙන් පෙළුනු ශ්‍රම බලකාය තුන්ලක්ෂ 89,406 ක්.
සිව්වන කාර්තුවේදී ආර්ථික වශයෙන් සක්‍රිය ජනගහණය මිලියන 8.47 ක් වූ අතර, ඉන් මිලියන 4.63 ක් සේවකයන් ලෙසත් දෙලක්ෂ 41,435 ක් සේව්‍යයන් ලෙසත්, කටයුතු කර තිබෙනවා.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව පසුගිය වසරේ සිව්වන කාර්තුවේ ආර්ථික වශයෙන් සක්‍රිය ජනගහණයෙන් සියයට 64.6 ක් පිරිමි පුද්ගලයන් වන අතර, සියයට 35.4 ක් කාන්තාවන්.
ආර්ථික වශයෙන් සක්‍රිය නොවන ජනගහණයද සිව්වන කාර්තුවේදී මිලියන 7.75 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් සියයට 25.8 ක් පිරිමි පුද්ගලයන් සහ සියයට 74.2 ක් කාන්තාවන්.
කාන්තාවන් අතර විරැකියාව ඉහළ යාම සිව්වන කාර්තුවේදී විශේෂයෙන් දක්නට ලැබුණු කරුණක්. එය සියයට 7.1 ක් වන අතර, තුන්වන කාර්තුවේදී වාර්තාවූයේ 6.6 ක් ලෙසයි. වසරකට පෙර එම ප්‍රතිශතය සියයට 5.6 ක් ලෙස සටහන් වුණා.
සිව්වන කාර්තුවේ යොවුන් ශ්‍රමිකයන්ගේ විරැකියාව සියයට 21.9 ක් වන අතර, එය සියලූම වයස් කාණ්ඩ අතරින් ඉහළම විරැකියා ප්‍රතිශතයයි.
එහිදී වයස අවුරුදු 15 ත් 24 ත් අතර, යෞවනයන් ගේ විරැකියාව සියයට 18.1 ක් සහ යෞවනියන්ගේ විරැකියා ප්‍රතිශතය සියයට 28.7 ක් වනවා.
වැඩිම විරැකියා ප්‍රතිශතයක් දක්නට ලැබෙන්නේ උසස් පෙළ සමත් සහ ඉන් ඉහළ කාණ්ඩයේ පුද්ගලයන්ගේ වීම විශේෂත්වයක්.