Gossips

වියළි කාලගුණයෙන් පීඩාවට පත්වූ ජනතාවට කඩිනම් සහන

දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට බලපා ඇති වියලි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 9000 ක මුදලක් වෙන් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීමේ කටයුතු කඩිනම්ව ක්‍රියාවට නංවන ලෙසටයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.
වියලි කාලගුණයෙන් උතුරු මැද පළාතේ පමණක් පුද්ගලයින් හාර ලක්ෂ 20,000 ක පමණ ජනතාවක් පීඩාවට පත්ව සිටිනවා.
ඔවුන් අවශ්‍ය පානීය ජලය, වියලි ආහාර ඇතුළු සෙසු සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදාවේද දායකත්වය ලබාගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
වියලි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීමේ වැඩපිලිවෙල ඊයේ සිට ආරම්භ කෙරුණු අතර, ඒ අනුව මහවිලච්චිය, දුණුමඩලාව, ඇලපත්ගම සහ ඔයාමඩුව යන ප්‍රදේශවල ජනතාවට නියං සහනාධාර බෙදා දී තිබෙනවා.
මීට අමතරව සමූපකාර හරහා සහනාධාර ලබාදීම සිදුකෙරෙන අතර, වියලි ආහාර මල්ලක් සති දෙකෙන් දෙකට ලබාදීමටද බලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මේ අතර, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන මහා සභා සැසිවාරය ඇමතීම සඳහා ජනාධිපතිවරයා හෙට ඇමරිකාවේ නිව්යෝක් නුවර බලා පිටත්ව යාමට නියමිතයි.
එක්සත් ජාතීන් සියලූම ජනතාවට සමීප කරවීම හා සාධාරණ, සාමකාමී සහ තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම තේමාව යටතේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය මෙවර පැවැත්වෙනවා.
එහි ප්‍රධාන සැසිවාරය ලබන 25 වැනිදා ආරම්භ කෙරෙන අතර, එදින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සැසිවාරය අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිතයි.