Gossips

වියලි කාලගුණයෙන් 357,144 කට පීඩා

වියලි කාලගුණය හේතුවෙන් පුත්තලම, කුරුණෑගල, මහනුවර, අනුරාධපුරය, පොළොන්නරුව සහ මන්නාරම යන දිස්ත්‍රික්කයන්හි පවුල් එක්ලක්ෂ දහදහස් 481 කට අයත් පුද්ගලයින් තුන්ලක්ෂ 57,144 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.
වැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ වන අතර එම සංඛ්‍යාව දෙලක්ෂ 16,670 ක්.
මේ අතර ඇද හැලෙන වැසි හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ ගොවීන් වී වේලාගැනීමට නොහැකිවීමෙන් දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා.
නිවාසවල සහ ඉඩම්වල ජලය රැඳී පැවතීම නිසා ඔවුන් මුලතිව් ප්‍රධාන මාර්ගය වී වේලාගැනීම සඳහා යොදාගන්නා බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.
එමෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ මඩකලපුව ප්‍රදේශය හරහා ඊයේ හමා ගිය තද සුළඟකින් නිවාස 100 කට ආසන්න සංඛ්‍යාවකට හානි සිදුව ඇති බවයි.
අනිද්දා වන විට දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පවතින වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මේ අතර මොණරාගල – වැල්ලවාය – කුරුමිණියාගල කඳු රක්ෂිතයේ ඊයේ (28) පස්වරුවේ සිට හටගත් ගින්න හේතුවෙන් මේ වනවිට අක්කර 400ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.
ගින්න මේ වනවිටත් පැතිර යමින් පවතින අතර, එය මැඩපැවැත්වීම සඳහා යුද හමුදාවද එක්ව සිටින බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
ප්‍රදේශයට පවතින දැඩි සුළං තත්ත්වය ගින්න මැඩපැවැත්වීමට බාධාවක් වී තිබෙනවා.
රක්ෂිතයේ අරළු, බුුළු, නෙල්ලි, පාවට්ටා සහ එරමුසු ඇතුළු ඖෂධ පැලෑටි රැසක් පවතින අතර එහි පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථාන රැසක්ද පිහිටා ඇති බවයි ප්‍රදේශවාසීන් කියා සිටියේ.