Gossips

විමල් වීරවංශගේ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නියෝගය යළි කැදවයි

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කළ වරෙන්තු නියෝගය අද (20) යළි කැදවනු ලැබුවා.
ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර හමුවේයි.
ඊයේ (19) දිනයේදී පැවති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර තිබුණා.
කෙසේ වෙතත්, අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ මාර්ග තදබදය හේතුවෙන් ඊයේ (19) දිනයේදී තම සේවාදායකයින්ට අධිකරණය හමුවේ පෙනී සිටීමට හැකියාවක් නොලැබුණු බවයි.
ඒ වෙනුවෙන් සමාව අයැද සිටින බවට ද ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නා.
එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට මහජන පීඩාවක් ඇතිවන ලෙස විරෝධතා පැවැත්වීම සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලිසිය මොවුන් දෙදෙනා ඇතුළු 07 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.