Gossips

විමල් අද CIDයට

ජාතික ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නියමිතයි.
ඒ, ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළව ඉන්දීය ජාතිකයා හෙලි කළ කරුණු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළවයි.
මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පසුගිය 23 වනදා පාර්ලමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ සහ ඔහුගේ බිරිඳ වන ශෂී වීරවංශගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කටයුතු කරන බව පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
තමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ සහ ඔහුගේ බිරිඳ හමුවීම සඳහා ඔවුන් රැඳී සිටි ස්ථානවලට ගිය බව අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ජාතිකයා මීට පෙර ප්‍රකාශ කර තිබුණා.
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ඉන්දීය ජාතිකයා මේ මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.
මේ අතර මෙරට ඉඩම් අක්කර 33,000ක් ඇමරිකානු ව්‍යාපෘතියකට ලබාදීම සඳහා ආණ්ඩුව කුමන්ත්‍රණයක යෙදෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ චෝදනා කළා.
ඔහු මෙම චෝදනාව එල්ල කළේ හංවැල්ල නගරයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.