Gossips

විපක්ෂ නායක මහින්ද සහ ජ.වි.පෙ. අතර හමුව ලබන සතියේ

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණ අතර සාකච්ඡාව ලබන සතියේ පැවැත්වීමට නියමිතයි.
ලබන සතියේදී අයවැය වැඩසටහන ආරම්භවන බැවින් ඒ අනුව බොහෝ දුරට එම සාකච්ඡාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට ඉඩ ඇති බවයි විපක්ෂ නායක කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම සම්බන්ධයෙන් අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන අතර, ඊට අදාළව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද හමුවීමට අපේක්ෂා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක පසුගියදා ප්‍රකාශ කර තිබුණා.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ මීට පෙර ඉදිරිපත් කළ විසිවන සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ නම් ඒකාබද්ධ විපක්ෂය ඊට එකඟ නොවන බවයි.
එසේම තමන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ඕනෑම අයෙකු සමඟ සාකච්ඡා කිරීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සුදානම් බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.