Gossips

විපක්ෂ නායක ධුරය මහින්දට – විජයමුනි සොයිසා, ඉන්දික සමග ලක්ෂ්මන් සෙනෙවිරත්න පැති මාරු කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස අද පත් කෙරුණා.
එහිදී කතානායක කරූ ජයසූරිය ප්‍රකාශ කළේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පත් කරන බවයි.
එසේම, සභානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පත් කරන බවද අද පාර්ලිමේන්තුව ආරම්භයේදී කථානායකවරයා නිවේදනය කළා.
පාර්ලිමේන්තුව ආරම්භයට පෙර සන්ධාන මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර, එහිදී ඒකමතිකව තීරණය කර තිබුණේ විපක්ෂ නායක ධුරය සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත් කිරීමටයි.
එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් රැස් වී තිබුණා.
මේ අතර, සන්ධාන මන්ත්‍රීවරුන් 3 දෙනෙකු අද පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් ගත්තා.
පාර්ලිමේන්තුව රැස්විමෙන් පසු සභා ගර්භය හරහා ගොස් මෙලෙස ආණ්ඩු පක්ෂයේ අසුන් ගත්තේ විජිත් විජයමුණි සොයිසා, ඉන්දික බණ්ඩාරනායක සහ ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මන්ත්‍රීවරුන්.
කෙසේ වෙතත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට විපක්ෂ නායක ධුරය දැරිය නොහැකි බවට පාර්ලිමේන්තුව තුල මන්ත්‍රීවරුන් විරෝධතා ඉදිරිපත් කිරිමත් සමග යම් සංවාදාත්මක තත්ත්වයක් ඇති වුනා.
පළමුව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල විරෝධතාවක් මතු කල අතර එහිදි ඔහු කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන ඇති බැවින් ඔහුට විපක්ෂනායකම දැරිය නොහැකි බවයි.
මේ අතර විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් වන කල් තැබීමේ යෝජනාවක් ජනතා විමුක්ති පෙරමුණ අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
මේ අතර, යාපනයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ සම මහලේකම් සී.වී.කේ. සිවඥානම් කියා සිටියේ මහින්ද රාජපක්ෂට විපක්ෂ නායක ධුරය ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවයි.