Gossips

විපක්ෂ නායක ධුරය ගැන කතානායක, සන්ධාන මහලේකම්ගේ මතය විමසයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන වෙත විපක්ෂ නායක ධුරය පිරිනමන ලෙස ඉල්ලා ඉදිරිපත් වූ ලිපිය සම්බන්ධයෙන් කතානායක කරූ ජයසූරිය නිදහස් සන්ධානයේ මතය විමසා එහි මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
විපක්ෂ නායක ධූරය එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකු වන දිනේෂ් ගුණවර්ධන වෙත ලබාදෙන ලෙස ඉල්ලා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 08 දෙනෙකු අත්සන් තැබූ ලිපියක් කතානායකවරයා වෙත භාර දුන්නේ පසුගිය මස 30 වැනිදායී.
නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වූ තම කණ්ඩායම, මේ වනවිට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 70 දෙනෙකුගෙන් සමන්විත බව පවසමින් ඔවුන් මෙම ඉල්ලීම සිදුකර තිබුණා.
කතානායක කාර්යාලය නිවේදනය කළේ කිසියම් පක්ෂයකින් තේරී පත්වූ මන්ත්‍රීවරුන් පිරිසක්, කණ්ඩායම් කිහිපයක් හෝ තනි කණ්ඩායමක් ලෙස ඒකරාශි වී තමන් කැමති මන්ත්‍රීවරයෙකුට විපක්ෂ නායක ධූරය ලබාදෙන ලෙස ඉල්ලා සිටින විට එම මන්ත්‍රීවරුන් තේරී පත්වූ පක්ෂයේ නිල මතය කවරක්ද යන්න විමසීම කතානායකවරයාගේ වගකීම බවයි.
එසේම අදාළ ලිපියට අත්සන් තබා ඇති සියලූ මන්ත්‍රීවරුන් නිදහස් සන්ධානය නියෝජනය කරන්නන් බැවින් පක්ෂයේ නිල මතය දැන ගැනීම සඳහා එහි මහ ලේකම්වරයා වෙත අද දිනයේ අදාළ ලිපිය යොමුකළ බව කතානායක කාර්යාලය ප්‍රකාශ කළා.