Gossips

විපක්ෂයට ගිය 16 දෙනා අලුත් සටනක

විපක්ෂයේ අසුන් ගැනීමෙන් අනතුරුව විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් අලුත් සටනක් ආරම්භ කරන බව ආණ්ඩුවෙන් ඉවත්වූ නිදහස් පක්ෂ අමාත්‍යවරුන් 16 දෙනා පවසනවා.
හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී කියා සිටියේ 19 වනදා මීළඟ පාර්ලිමේන්තු සභාවාරය ආරම්භවීමෙන් පසු ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බවයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංග යෝජනාවට සහය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍යවරු 16දෙනා ඊයේ මධ්‍යම රාත්‍රියෙන් ආණ්ඩුවෙන් ඉවත්වුණා.
මෙම 16 දෙනා අතරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් හයදෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරුන් හතරදෙනෙක්, නියෝජ්‍ය අමාත්‍යවරුන් පස්දෙනෙකු සහ නියෝජ්‍ය කථානායකවරයා ඇතුළත්.
මේ අතර විපක්ෂයට තවත් 16 දෙනෙකු එක්වන්නේ නම් පාර්ලිමේන්තුව තුල ඔවුන්ට ආසන පනවන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙලගෙන් විමසීමක් කළා.
එහිදී ඔහු සඳහන් කළේ අදාළ මන්ත්‍රීවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය පදනම් කරගෙන එම ආසන පැනවීමේ කටයුතු සිදුවනු ඇති බවයි.
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සංයුතියට අනුව දෙමළ ජාතික සන්ධානයේ 16 දෙනෙකු, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු, ඊ.පී.ඩී.පී. පක්ෂයට එක් මන්ත්‍රී ධුරයක්ද හිමිව තිබෙන අතර, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු 54 දෙනෙකු එම සංයුතියට ඇතුළත්.
ඔවුන්ගේ එකතුව 77 ක් වන අතර, ඊයේ අමාත්‍ය ධුරවලින් ඉවත්වූ 16 දෙනාද විපක්ෂයේ අසුන් ගතහොත් එම සංඛ්‍යාව 93 දක්වා ඉහළ යනවා.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා සඳහන් කළේ ලබන 19 වනදා මීළඟ පාර්ලිමේන්තු සභා වාරය ආරම්භවීමෙන් පසු විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් යෝජනාව කථානායකවරයා වෙත ඉදිරිපත් කරන බවයි.
කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින් ද ජයතිස්ස කියා සිටියේ විපක්ෂ නායක ධුරය පිරිනැමිය යුත්තේ පාර්ලිමේන්තුව විසින් දේශපාලන පක්ෂ ලෙස පිළිගෙන ඇති ආකාරය අනුව බවයි.
විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් විපක්ෂයේ අසුන් ගැනීමෙන් පසු ආරම්භ කරන අලුත් සටන පිළිබඳව ඊයේ රාත්‍රියේ ධුරයෙන් ඉවත්වූ හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි කියා සිටියේ තම කණ්ඩායම විපක්ෂයේ අසුන් ගත් සැනින් විපක්ෂ නායකවරයා තේරීමේ සටන ආරම්භ කරන බවයි.