Gossips

විනෝද සමයේ වන අලින්ට ආහාර ලබාදීමේදී සැළකිලිමත් වන්නැයි උපදෙස්

විනෝද සමයේ වන අලින්ට ආහාර ලබාදීමේදී සැළකිලිමත් වන්නැයි උපදෙස්
වන අලින්ට ආහාර ලබා දීමේදී සහ ඡායාරූප ගැනීමේදී වැඩි අවධානයක් යොමු කරන්නැයි මේ දිනවල විනෝද චාරිකාවල නිරතවන පුද්ගලයින්ට වනජීවී දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
වන අලි සමඟ ඡායාරූප ගැනීමට ගොස් සහ ආහාර ලබාදීමට ගොස් ඇතැම් පිරිස් පසුගිය කාලසීමාව තුළදී එම සතුන්ගේ ප්‍රහාරවලට ගොදුරුවූ අවස්ථා වාර්තා වීම හේතුවෙනුයි මෙම උපදෙස් ලබාදීම සිදුකර ඇත්තේ.
මින්නේරිය වනෝද්‍යානය මැදින් වැටී ඇති හබරණ – පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ විවිධ ස්ථානවල මේ පිළිබඳ දැනුම්වත් කරමින් පුවරු සවිකර ඇතත් විනෝද සහ වන්දනා චාරිකාවල නිරත බොහෝ දෙනෙකු ඒ පිළිබඳ සැළකිල්ලක් නොදක්වන බවයි වනජීවී නිලධාරීන් පෙන්වා දුන්නේ.
ඊට අමතරව ආහාරවලට හුරු වී වන අලි ගම්වැදීම නිසා එමගින් අලි – මිනිස් ගැටුමක් ද නිර්මාණය වන බවද ඔවුන් පවසනවා.
මේ අතර පොළොන්නරුව – වැලිකන්ද ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාව තවදුරටත් වන අලි තර්ජනයෙන් පීඩාවට පත්ව සිටිනවා.
වැලිකන්ද – බෝඅත්ත, සිංහපුර, පැරකුම්යාය, දිඹුලාන සහ කුරුළුබැද්ද ඇතුළු ගම්මාන රැසක ජනතාව නිරන්තරයෙන් වන අලි තර්ජනවලට මුහුණපා සිටින බවයි හිරු වාර්තාකරුවන් කියා සිටියේ.
මෙහි ආසන්නතම සිදුවීම ඊයේ රාත්‍රියේ සහ පෙරේදා දිනවලදී සිංහපුර ගම්මානයෙන් වාර්තා වුණා.
එමෙන්ම අම්පාර – මහනුවර ප්‍රධාන මාර්ගයේ උහන පාලංකඳවුර ප්‍රදේශයේ පිහිටි නිවසකටද අද අලුයම වන අලි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.