Gossips

විනය නීති කැඩූ ධනුෂ්කට වසරක කාලයකට ලැබුණු දැඩි දඬුවම මෙන්න

විනය නීති කඩ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට වසරක අන්තර්ජාතික තරඟ තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
මෙම තහනම සියලුම ක්‍රිකට් තරඟ සඳහා බල පැවැත්වෙන බවයි එම ආයතනය වැඩිදුරටත් පවසන්නේ.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර මේ වනවිට පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයෙන් පසුව පැවැත්වෙන විනය පරීක්ෂණයකින් අනතුරුව මෙම තහනම ක්‍රියාත්මක කෙරෙනු ඇති.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වෙමින් පවතින අතරවාරයේදී ක්‍රීඩකයන් අනුගමනය කළයුතු විනය නීති මාලාව බිඳ දැමීම හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක මෙම තහනමට මුහුණ දීමට සිදුව තිබෙනවා.
ටෙස්ට් තරගයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක නවාතැන් ගෙන සිටින අතර එහිදී නියමිත වේලාවට පෙර කාමරයට නොපැමිණීමත් සිය මිතුරකු කාමරයට ගෙන්වා ගැනීමත් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ල වී ඇති චෝදනා වනවා.
මූලික පරීක්ෂණයකින් අනතුරුව මෙම තහනම පනවා ඇතත් ඒ සම්බන්ධයෙන් විධිමත් විනය පරීක්‍ෂණයක් කිරීමට නියමිතය.
එම පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු දෙවැනි ටෙස්ට් තරඟය සඳහා වන ධනුෂ්කගේ තරඟ මුදල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රඳවාගනු ලබනු ඇති.