Gossips

විධායක නිලධාරීන්ගේ වර්ජනයෙන් රාජ්‍ය ආයතනවලට බාධා

රජයේ විධායක නිළධාරින් දියත් කර ඇති සංකේත වර්ජනය හේතුවෙන් සියලුම අමාත්‍යාංශවල සහ දෙපාර්තමේන්තුවල කටයුතු අඩපණ වී ඇති බව රජයේ විධායක නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළා.
අද උදෑසන ඔවුන් මෙම වර්ජනය ආරම්භ කළේ නීති නිළධාරීන්ට පමණක් වැටුප් හා දීමනා වැඩි කිරීමට විරෝධය පළ කරමින්.
මෙම වෘත්තීය කි්‍රයාමාර්ගය ආරම්භ කිරීමට පෙර ඔවුන් ඊයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ ද සාකච්ඡා කළ අතර, එය අසාර්ථක වීමෙන් පසුවයි අද මෙම වර්ජනය ආරම්භ කෙරුණේ.
වර්ජනය සඳහා ශ්‍රී ලංකා පරිපාල සේවා සංගමය, දේශීය ආදායම් වෘත්තීය සමිති එකමුතුව, සමස්ත ලංකා ගුරු අධ්‍යාපන සේවා සංගමය ඇතුළු රාජ්‍ය සේවයේ විධායක නිලධාරින් ඇතුළත් වෘත්තීය සමිති 15 ක් එක්ව සිටිනවා.
රජයේ විධායක නිලධාරින්ගේ සංගමයේ සභාපති නිමල් කරුණාසිරි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අද රජයේ ආයතනවල මහජන දිනය බැවින් එම කටයුතුවලට ද වර්ජනයෙන් බාධා එල්ල වී ඇති බවයි.
වර්ජනයට සමගාමීව රජයේ විධායක නිලධාරින්ගේ සංගමය මේ වනවිට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක ද නිරත වනවා.
මීට සමගාමීව, රජයේ විධායක නිලධාරින්ගේ සංගමය ගාල්ල, කුරුණෑගල, සහ මහනුවර යන දිස්ත්‍රික්කවල ද විරෝධතා සංවිධාන කර ඇති බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ.
එමෙන්ම රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මෙම වර්ජනය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
ඊට එක්වෙමින් ඔහු කියා සිටියේ් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගෙන තිබියදී මෙලෙස වර්ජනයේ නිරත වීම අසාධාරණ බවයි.
මේ අතර, රාජ්‍ය, පළාත් රාජ්‍ය, කළමනාකරණ සහකාර සේවා සංගමය ද තම සේවාවට සම්බන්ධ ඉල්ලීම් 13ක් මුල් කර ගනිමින් අද දින ලෙඩ නිවාඩු දමා සේවා කටයුතුවලින් ඉවත් වී තිබෙනවා.
ඔවුන් ද අද දහවල් කොළඹ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන අතර, ඒ හේතුවෙන් පුරහල අවට රථ වාහන තදබදයක් හට ගෙන ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
එමෙන්ම ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ද සියළු උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට ද විරෝධතාවක නිරත වුණා.rn