Gossips

විදේශ රටක මිය ගිය පුතු ගෙනවිත් දෙන්නැයි මව ඉල්ලයි

දහසක් බලාපොරොත්තු සිතේ තබාගෙන ජීවිතය ගැටගහගන්නට විදේශගත වන ඇතැමුන්ගේ එම සිහිනය ජීවිතයත් සමඟම බොඳ වන අවස්ථා අපට අනන්ත අප්‍රමාණව අසන්නට ලැබෙනවා.
එලෙස උපන් බිමෙන් පිට රැකියාවට ගොස් ජීවිතය අහිමි වූ තරුණයෙකුගේ දේහය මාසයක පමණ කාලයක් යන තුරු දිවයිනට ගෙන්වා ගැනීමට නොහැකි වී ඇති බව හිරු ප්‍රවෘත්ති අංශයට අද වාර්තා වුණා.
ඇලහැර – නිකපිටියේ පදිංචි 32 හැවිරිදි අරුණ ජයවික්‍රම, 2011 වසරේ සෞදි අරාබියේ රැකියාවකට පිටත්ව යනවා.
එහි පෞද්ගලික සමාගමක වසර 5ක් සේවය කරන ඔහු පසුව වෙනත් සමාගමකට එක්වී රැකියාවක නිරත වන අතර, පසුගිය ජුනි 16 වන දා රිය අනතුරකින් ජීවිතයෙන් සමු ගත්තා.
මරණයට පත්වී මාසයකට ආසන්න කාලයක් ගත වී ඇතත් තවමත් පුතුගේ දේහය ගෙන්වා ගැනීමට නොහැකි වී ඇති බවයි අරුණගේ මව පැවසුවේ.
අප සිද්ධිය සම්බන්ධයෙන් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාරගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ අනිද්දා මෙම තරුණයාගේ දේහය දිවයිනට රැගෙන ඒම සඳහා සෞදි අරාබි ගුවන් තොටුපළට භාරදීමට කටයුතු සූදානම් කර ඇති බවයි.