Gossips

විදේශීය මත්පැන් සහ ඖෂධ තොගයක් අත්අඩංගුවට

තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වූ විදේශීය මත්පැන් සහ ඖෂධ තොගයක් නුගේගොඩ – එගොඩවත්ත ප්‍රදේශයේදී අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදීයි.
තීරු බදු නොගෙවා රැගෙන එන ලද කන්ටේනරයක් පිළිබඳ ලැබුනු තොරතුරකට අනුවයි විශේෂ කාර්ය බලකාය වැටලීම සිදු කළේ.
මෙහිදී විදේශීය මත්පැන් බෝතල් දහසකට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එක් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
මේ අතර දුම්වැටි තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන ආ චීන ජාතික යුවළක් කටුනායක ගුවන්තොටුපලේදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
32 හැවිරිදි පිරිමි පුද්ගලයා සහ 29 හැවිරිදි කාන්තාව සිය ගමන් මලුවල සගවා විවිධ වර්ගවල දුම්වැටි 44,600 ක් රැගෙන විත් තිබු බවයි අප වාර්තාකරු කියාසිටියේ.
ඒවායෙහි මුලු වටිනාකම රුපියල් 2,230,000 ක් බවට අනාවරණ වී තිබෙනවා.
මෙම චීන ජාතිකයා හම්බන්තොට ප්‍රදේශයේ ව්‍යාපෘතියක සේවය කරන්නෙක් වන අතර කාන්තාව නිරන්තරයෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර ගුවන් ගමන්වල නිරතවන අයෙක් බවටයි හෙළිවී ඇත්තේ.
පරීක්ෂණවලින් පසු දුම්වැටි තොගය රාජසන්තක කර ඇති අතර සැකකාර චීන ජාතිකයා රුපියල් 30000 ක සහ කාන්තාව රුපියල් 20000 ක දඩ මුදලක් ගෙවන ලෙසට නියෝග කර තිබෙනවා.