Gossips

විදුහල්පතිනිය මිය යාම ගැන පරීක්ෂණයක් අවශ්‍යයි

විදුහල්පතිවරුන්ට නායකත්ව පුහුණුව ලබාදීමේ වැඩමුළුවක් අතරතුර හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය හදිසි අනතුරකින් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව ලංකා ගුරු සංගමය පවසනවා.
එමෙන්ම මෙවැනි පුහුණුවීම් පෞද්ගලික ආයතන මගින් ලබාදීම ගැටළු සහගත බවයි එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් කියා සිටියේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මේ වනවිට පරීක්ෂණයක් සිදුකරන අතර, එම පරීක්ෂණ අවසන් වනතුරු විදුහල්පති නායකත්ව පුහුණු වැඩමුළු තාවකාලිකව නතර කිරීමටද එම අමාත්‍යාංශය ඊයේ තීරණය කළා.
කුරුණෑගල – වාරියපොළ වයඹ පුහුණු මධ්‍යස්ථානයේ දී විදුහල්පතිවරුන් වෙනුවෙන් පැවැත්වූ නායකත්ව පුහුණු වැඩමුළුවට හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය සහභාගි වී තිබුණේ පසුගිය 16 වනදායි.
ඊට පසු දින කඹයක් ආධාර කර ගනිමින් පැවති පුහුණුවකදී ඇයගේ අතින් එය අතහැරී බිම වැටී තිබෙනවා.
පසුව ඇය කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවුණු අතර, එහිදී මිය ගියා.