Politics Sri Lanka

විදුහල්පතිනිය ජීවිතක්ෂයට පත්වූ පසු නායකත්ව පුහුණුව තාවකාලිකව නතර කරයි

විදුහල්පතිනිය ජීවිතක්ෂයට පත්වූ පසු නායකත්ව පුහුණුව තාවකාලිකව නතර කරයි

පසුගියදා කුරුණෑගල වාරියපොළ, වයඹ නායකත්ව පුහුණු කඳවුරේදී පැවති, විදුහල්පතිවරුන් සඳහා වන නායකත්ව පුහුණු වැඩසටහනකදී හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිවරිය මිය යෑම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ අවසන් වන තෙක් විදුහල්පතිවරුන් සඳහා පැවැත්වෙන නායකත්ව පුහුණු වැඩසටහන අත්හිටුවීමට අධ්‍යපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

රෝහිණී කුමාරි අතපත්තු නැමති මෙම විදුහල්ලතිනිය ජීවිතක්ෂයට පත්වන විට වයස වුරුදු 52 පසු කරමින් සිට ඇති අතර ඇයට විශ්‍රාම ගැනීම සඳහා තවත් ඉතිරිව තිබී ඇත්තේ කෙටි කාලයක් පමණකි.

හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිවරිය පසුගියදා කුරුණෑගල වාරියපොළ, වයඹ නායකත්ව පුහුණු කඳවුරේදී පැවති පුහුණු වැඩසටහනක් අතරතුර අනතුරකට ලක්වීමෙන් අනතුරුව රෝහල්ගත කිරීමෙන් පසු ජිවිතක්ෂයට පත්විය.

අනතුරින් මියගිය හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය මීට පෙරද මෙවැනි නායකත්ව පුහුණු වැඩසටහන් දෙකක් සඳහා සහභාගී වී ඇති අතර කැඩෙට් නිලධාරිනියක් ලෙසද කටයුතු කර ඇත.

විදුහල්පතිවරුන්ගේ පෞරුෂ සංවර්ධන හා නායකත්ව ගුණාංග ඉහළ නැංවීමට යැයි පවසමින් මෙම නායකත්ව පුහුණු වැඩසටහන පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ ආරම්භ කරණ ලද්දක් වන අතර එවකට විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂයද එයට දැඩි විරෝධයක් එල්ල කරන ලදී. කෙසේ නමුත් වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ඇමති ධුරය පවා හිමිකරගත් එක්සත් ජාතික පක්ෂය එම නායකත්ව පුහුනු වැඩසටහන අහෝසි කිරීමට කටයුතු කර නැත.

2013 වසරේදී රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු පාසලේ පැවැති නායකත්ව පුහුණුවකදී ද මේ ආකාරයෙන්ම විදුහල්පතිවරයකු මිය ගිය අතර එකළ පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් එකළ දැඩි විරෝධයක් එල්ල විණි.

අධ්‍යාපන අමාත්‍යංශය සතුව සම්පත්දායකයන් සිටියදී අදාළ පුහුණුව පෞද්ගලික ආයතනයකට බාර දුන්නේ හා ඊට විදුහල්පතිවරුන් කැඳවූයේ කවර පදනමකින් දැයි උක්ත පරීක්ෂණයේදී සෙවිය යුතු යැයි අධ්‍යාපන වෘත්තීය සමිති සඳහන් කරයි