Gossips

විදුලි සෝපානය සිරවීම ගැන, කථානායකට වාර්තා දෙකක්

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් විදුලි සෝපානයක සිරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාල වාර්තා දෙකක් ලබන බදාදා වන විට පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදීමට හැකිවනු ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසනවා.
ඔහු ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ පවතින සියලූ විදුලි සෝපාන පිළිබඳ තත්ත්ව සහතික වාර්තාව සහ මන්ත්‍රීවරුන් සෝපානයක සිරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ විමර්ශන වාර්තාව මෙලෙස භාරදීමට නියමිත බවයි.
අදාල වාර්තා පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක, කථානායක කරු ජයසූරිය වෙත භාරදීමෙන් පසු කථානායකවරයා එය පාර්ලිමේන්තුව රැස්වන ලබන 20 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බවයි ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා වෙන් කර ඇති විදුලි සෝපානයක් හදිසියේ අක්‍රීය වීම හේතුවෙන් එහි ගමන් ගත් මන්ත්‍රීවරුන් 12 දෙනෙකු එහි සිරවී සිටින්නට සිදුවූයේ පසුගිය බ්‍රහස්පතින්දා දින උදෑසනයි.
සභාව රැස්වන දිනය වලදී අංක 6 සහ 7 යන විදුලි සෝපාන මන්ත්‍රීවරුන් සඳහා වෙන් කර තැබෙනවා.
ඉන් 06 වන විදුලි සෝපානයයි එකවර මෙලෙස අක්‍රිය වී තිබුණේ. මන්ත්‍රීවරුන් 12 දෙනා එදින උදෑසන පාර්ලිමේන්තු සභා වාරයට පැමිණෙමින් සිටියදී එකවර දෙවන මහල දක්වා ගමන් කර පසුව සෝපානය අක්‍රිය වීමට ලක් වූ බව සිද්ධියට මුහුණ දුන් මන්ත්‍රීවරුන් පිරිස ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, අදාල සිද්ධිය වූ දින සී.සී.ටී.වි කැමරා දර්ශන, ඊට අදාල විඩියෝපට නිරීක්ෂණය කරමින් සහ අනෙකුත් දත්ත සටහන් පරික්ෂා කරමින් පරික්ෂණ සිදුකරන බවයි ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ.
අනතුරුව ඒ සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් සකස් කර පාර්ලිමේන්තු මහලේකම්වරයා මගින් කථානායකවරයා වෙත භාරදීමට නියමිතයි.
එමෙන්ම පාර්ලිමේන්තු සංකීර්ණයේ දැනට විදුලි සෝපාන 10 ක් ක්‍රියාත්මක වන අතර, නඩත්තු කටයුතු සිදුකරන අදාල සමාගමේ නිලධාරීන් සහ පාර්ලිමේන්තුවේ ඉංජිනේරු අංශයේ කාර්මික නිලධාරින් එක්ව අද සහ හෙට දිනයේ දී ඒවා පරීක්ෂා කරනු ලබනවා.
ඒ අනුව ඊට අදාල තත්ත්ව සහතික වාර්තාවක් ද සකස් කර කථානායකවරයාට භාරදීමට කටයුතු කරන බවද වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කළා.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් යම් ආකාරයකින් පාර්ලිමේන්තුවේ නිලධාරියෙකුගෙන් යම් වරදක් වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ කථානාකයවරයා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු කියා සිටියා.
කෙසේ වුවද කාර්මික දෝෂයක් හේතුවෙන් විදුලි සෝපානය අක්‍රීය වීමක් වන්නට ඇති බවට තමන් විශ්වාස කරන බවයි වේත්‍රධාරිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.