Gossips

විදුලි සහ ජල පරිභෝජනය වාර්තාවක් තබමින් ඉහළට

මේ දිනවල පවතින වියළි කාළගුණයත් සමග දිවයිනේ සමස්ත ජල පරිභෝජනය සියයට 10කින් ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසනවා.
මේ හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි එහි සභාපති කේ.ඒ. අන්සාර් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
එමෙන්ම, පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් වාර්තාගත විදුලි ඉල්ලූමක් පසුගිය බ්‍රහස්පතින්දා වාර්තා වූ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.
එදින මෙගාවොට් 2500 ක විදුලි ඉල්ලූමක් වාර්තා වී ඇති අතර, එය ඉතිහාසයේ පළමු වතාවට සිදුවූවක් බවයි අමාත්‍යවරයා රඹුක්කන ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් සදහන් කළේ.
මේ අතර, කළුතර – කෙත්හේන ජල පවිත්‍රාගාරයෙන් ජලය සපයන ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 8 සිට පැය 11 හමාරක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළා.
ඒ අනුව වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ සහ පයාගල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.
ඊට අමතරව මග්ගොන, බේරුවල, කළුවාමෝදර, අලූත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලට ද හෙට මෙම ජල සැපයුම අත්හිටුවීම ක්‍රියාත්මක බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ.