Gossips

විදුලි ලේකම් ජනපති කොමිසමට – ඉංජිනේරුවන් පැන් පූජාවක

දිවයිනේ දිස්ත්‍රික්ක හතකට බලපා ඇති වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 12,632කට අයත් පුද්ගලයින් 44,000 ක් මේ වනවිට පීඩාවට පත්ව සිටිනවා.
මෙලෙස ජල හිගය පවතින ප්‍රදේශ සඳහා බවුසර් මගින් ජලය සැපයීමට කටයුතු සිදුකරන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.
අද පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 තුළ සෙල්සියස් අංශක 37 ක උපරිම උෂ්ණත්වය කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
එමෙන්ම හෙට දිනයේදී වයඹ පළාත, මන්නාරම, ගම්පහ, හම්බන්තොට සහ මොනරාගල යන දිස්ත්‍රික්ක සදහා අධික උණුසුම් කාලගුණික තත්ත්වයක් පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මෙවර වගා කටයුතු සදහා වැඩි ජල ප්‍රමාණයක් නිකුත් කිරීම හේතුවෙන් ඇතැම් මහවැලි ජලාශවල ජල මට්ටම් පහත බැස ඇති අතර, කෙසේ වෙතත්, හැකි උපරිම අයුරින් විදුලිය නිෂ්පාදනය සදහා ජලය නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි මහවැලි අධිකාරිය කියා සිටියේ.
ශ්‍රී ලංකාවේ දෛනික විදුලි ඉල්ලූම මෙගාවොට් 2600 ක් වන අතර, ඉන් සියයට 30 ක ප්‍රතිශතයක් උත්පාදනය කරන්නේ ජල විදුලියෙන්.
නමුත්, පවතින වියළි කාලගුණය හේතුවෙන් දෛනිකව සපුරාලිය හැකි ධාරිතාව මෙගාවොට් 2260 දක්වා පහත බැස තිබෙනවා.
මේ අතර, කාසල්රී ජලාශයේ ජල මට්ටම පහත වැටීමත් සමඟ මැණික් ජාවාරම්කරුවන් රාත්‍රී කාලයේ එහි මැණික් ගැරීම ආරම්භ කර ඇති බව ද අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.
මේ අතර, වරින් වර විදුලිය විසන්ධි කෙරෙන නිසා ශීතකරණ තුළ ගබඩා කර ඇති ආහාර ද්‍රව්‍ය පරිභෝජනය කිරීමේදී සැලකිලිමත් වන ලෙසට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
මේ අතර, ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට වැසි ලබාදෙන ලෙස ඉල්ලා, ජය ශ්‍රී මහා බෝ සමිඳුන් උදෙසා වූ පැන් පූජාවක් ද ලංකා විදුලිබල මණ්ඩලය අද සංවිධාන කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කොළඹ අද පැවති උත්සවයකට එක්වෙමින් කියා සිටියේ දින 7ක් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කළහොත් ඉදිරියේදී කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමේ හැකියාවක් පවතින බවයි.
මේ අතර, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ 2015 – 2018 කාලයේ රාජ්‍ය ආයතනවල වංචා සොයන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරියේ අද පෙනී සිටියා.
පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම සහ බලාගාර සදහා ඉන්ධන ගෙන්වීමේදී සිදුවන වංචාවක් පිළිබදව අමාත්‍ය පාඨලී චම්පික රණවක කළ දැනුවත් කිරීමක් අනුව ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස එම කොමිසමට දැනුම්දී තිබුණා.
ඒ අනුවයි, අද දිනයේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් පැය එකහමාරකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගැණුනේ.
ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව යලි ලබන අගහරුවාදා දිනයේ ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස ද ඔහුට දැනුම්දී තිබෙනවා.