Gossips

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම තවදුරටත් පහළට

ජාතික විදුලිබල මණ්ඩලයට අයත් කාසල්රී සහ මාවුස්සාකැලේ යන ජලාශවල ජල මට්ටම් තවදුරටත් පහළ බසිමින් පවතින බවට වාර්තා වනවා.
මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 67 දක්වා පහළ බැස ඇති අතර, දැනට එහි ඉතිරිව පවතින ජල ධාරිතාවයෙන් අඩි 10 ක් පමණක් විදුලි උත්පාදනය සඳහා ලබාගෙන තිබෙනවා.
එමෙන්ම, කාසල්රී ජලාශයේ ජල මට්ටමද පිටාර මට්ටමේ සිට අඩි 50 දක්වා පහළ බැස ඇති බවටයි විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
කාසල්රී ජලාශයේ ජල මට්ටම ඊයේ වනවිට 9.8% ක් ලෙස දැක්වුණු අතර, මාවුස්සාකැලේ ජල මට්ටම සටහන් වුණේ 19.5% ක් ලෙසයි.
එසේම වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම 36.2% ක් දක්වා පහත වැටී තිබෙනවා.
ඒ අනුව රන්ටැඹේ ජලාශයද 14.6% ක් දක්වා පහත වැටී ඇති අතර, කොත්මලේ ජලාශයේ ජල මට්ටම 29.7% ක් ලෙස සටහන් වනවා. සමනල වැව ජලාශය 12.7% ක ජල මට්ටමක් ඊයේ වනවිට වාර්තා කර තිබුණා.
මේ අතර, මෙගාවොට් 1200 ක ධාරිතාවයකින් යුත් එල්.එන්.ජී.බලාගාරයක් ඉදිකිරීම සඳහා හම්බන්තොට කර්මාන්ත පුරයට 2014 වසරේදී පැමිණි බ්‍රිතාන්‍ය සමාගමක්, කොමිස් නොලැබීම හේතුවෙන් වත්මන් රජය හරවා යවා ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා.
කොළඹ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මේ බව කියා සිටියා.
විදුලි අර්බුදය හමුවේ සිදුකෙරෙන විදුලි කප්පාදුවට තාවකාලික පිළියමක් ලෙස පෞද්ගලික සමාගම් තුනකින් මෙගාවොට් 100 ක හදිසි විදුලිය මිලදී ගැනීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ඞී.වී.චානක කියා සිටියේ හම්බන්තොට කර්මාන්ත පුරයට පැමිණි එල්.එන්.ජී. බලාගාරය ක්‍රියාත්මක වූයේ නම් රුපියල් දහයයි ශත 50 කට විදුලි ඒකකයක් මිලදී ගැනීමේ හැකියාව පැවති බවයි.