Gossips

විදුලි ඉංජිනේරුවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

යම් හෙයකින් ප්‍රධාන පෙලේ තාප බලාගාරයක් හදිසියේ අක්‍රිය වුවහොත් යළි විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇතැයි විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.
ඊයේ දිනයේදී විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල සමස්ත ජල ධාරිතාව සියයට 30 ට වඩා අඩු වූ අතර, එය 2017 වසරෙන් පසු වාර්තා වූ අඩුම ජල ධාරිතාව වීම විශේෂත්වයක්.
විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට පසුගිය දින කිහිපයේදී වර්ෂාව පතිත වූ නමුත්, එය ජල ධාරිතාව ඉහළ යාමට ප්‍රමාණවත් වී නොමැති වී ඇති බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියා.
පවතින තත්ත්වය හමුවේ විදුලිය නිෂ්පාදනය කිරීමේදී සියයට 90 ක් තාප බලාගාර මගින් සිදුකිරීමට සිදුව තිබෙනවා.
උත්සව සමය එළඹීමත් සමග දිනක විදුලි ඉල්ලූම ගිගාවොට් පැය 32 දක්වා පහළ බැස ඇතත්, උත්සව සමය නිමා වීමෙන් පසු විදුලි ඉල්ලූම ඉහළ යා හැකි බවයි විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පෙන්වා දුන්නේ.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩුගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ විදුලි බලාගාරය ආශ්‍රිත ජලාශවල සමස්ත ජල ධාරිතාව සීඝ්‍රයෙන් පහත වැටුණ ද රන්දෙණිගල ජලාශයේ ජල මට්ටම සියයට 88 ක මට්ටමේ පවතින බවයි.
යල කන්නය සදහා එමගින් ජලය බෙදා හැරීම සිදුකෙරෙන අතර, ඒ හරහා විදුලිය නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන බව ඔහු සදහන් කළා.
එහෙත්, හදිසියේ තාප බලාගාරයක අක්‍රිය වීමක් සිදුවුවහොත්, යළිත් වරක් විදුලිය කප්පාදු කිරීමේ අවධානමක් පවතින බවයි ඔහු සදහන් කළේ.
පසුගිය මස 20 වදා නොරොච්චෝලේ විදුලි බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ බිද වැටීමක් සිදුවූ අතර, ඊට පසු විදුලිය කප්පාදු කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගනු ලැබුවා.
දින 15 කට ආසන්න කාලයක් සිදුවූ එම විදුලි කප්පාදුවෙන් පසු විදුලිබල අමාත්‍ය රවී කරුණානායක සදහන් කළේ ඉදිරියේදී යළි විදුලි කැපීමක් සිදුනොකරන බවයි.