Gossips

විදුලි අර්බුදයට විසදුම් දෙන්න යලි කමිටුවක්

පවතින විදුලි අර්බුදය විසදීම සදහා ගත හැකි කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට මුදල්, විදුලිබල හා බලශක්ති, මහාමාර්ග හා මාර්ග සංවර්ධන, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන සහ වරාය හා නාවික කටයුතු යන අමාත්‍යවරුන් ද ඇතුළත්.
මේ අතර, අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සදහා මෙගාවොට් 100 ක අතිරේක විදුලි ධාරිතාවක් මාස 6 ක කාලයක් සඳහා ලබා ගැනීමට මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.
ඒ අනුව පල්ලෙකැලේ ග්‍රිඩ් උපපොල සඳහා මෙගාවොට් 24ක විදුලි ධාරිතාවක් සහ ගාල්ල ග්‍රිඩ් උපපොල සඳහා මෙගාවොට් 10ක විදුලි ධාරිතාවක් කිලෝවොට් එකක් රුපියල් 30යි ශත 20ක මුදලකට සැපයීමේ කොන්ත්‍රාත්තුව එංගලන්තයේ සමාගමක් වෙත ලබාදී තිබෙනවා.
එමෙන්ම මහියංගනේ ග්‍රිඩ් උපපොල සඳහා මෙගාවොට් 10ක විදුලි ධාරිතාවක් කිලෝවොට් එකක් රුපියල් 30යි ශත 58ක මුදලකට සහ පොලොන්නරුව ග්‍රිඩ් උපපොල සඳහා මෙගාවොට් 8ක විදුලි ධාරිතාවක් කිලෝවොට් එකක් රුපියල් 30 ශත 63කට සැපයීමේ කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇත්තේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සමාගමක්.
හම්බන්තොට ග්‍රිඩ් උපපොල සඳහා මෙගාවොට් 24ක විදුලි ධාරිතාවක් කිලෝවොට් එකක් රුපියල් 28 ශත 43ක මිලකට සහ හොරණ ග්‍රිඩ් උපපොල සඳහා මෙගාවොට් 24ක විදුලි ධාරිතාවක් කිලෝවොට් එකක් රුපියල් 28 ශත 70ක මුදලකට හොංකොං සමාගමක් වෙත ලබාදීමට ද කටයුතු කර තිබෙනවා.
කෙසේ වෙතත් බලශක්ති විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම මිලදී ගැනීම හරහා විදුලි ඒකකයකින් රුපියල් 20ක පමණ අලාභයක් දැරීමට රජයට සිදුවන බවයි.
මේ අතර, පවතින වියලි කාලගුණ තත්ත්වය හමුවේ සති දෙකකට අධික කාලයක් සිදු කළ විදුලි කප්පාදුව අද රාත්‍රියෙන් පසු අවසන් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
පසුගිය මස 25 වනදා සිටයි දිනකට පැය 04ක කාලයක් විදුලිය විසන්ධි කරන බව විදුලිබල මණ්ඩලය නිල වශයෙන් දැනුම් දුන්නේ.