Gossips

විදුලි අර්බුදයක් -ජල විදුලි නිෂ්පාදනය සියයට 15 ට බසී

පවතින වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල විදුලිය නිපදවීම අභියෝගයක් වී ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ කොත්මලේ, කාසල්රී ඇතුලූ ජල විදුලි නිෂ්පාදනයට යොදාගන්නා ප්‍රධාන ජලාශ හයේ ජල මට්ටම සියයට 50 දක්වා අඩුවී ඇති බවයි.
ඒ අනුව ජල විදුලි නිෂ්පාදනය සියයට 15 ක් දක්වා පහළ බැස ඇති බවද ඔහු සඳහන් කළා.
හිරු ප්‍රවෘත්ති අංශය මෙම තත්ත්වය සම්බන්ධයෙන් විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩුගෙන් විමසීමක් කළා.
එහිදී ඔහු කියා සිටියේ නිසි සැළැස්මක් නොමැතිවීම හේතුවෙන් විදුලිය සැපයුම් පවත්වාගැනීම සඳහා ජල විදුලිය මත යැපීමට සිදුව ඇති බවයි.
එමෙන්ම දිගුකාලීන විදුලිජනන සැලැස්ම යටතේ තාප බලාගාරයක් ඉදිකිරීමේ ටෙන්ඩරය තවදුරටත් ප්‍රමාදවීම හේතුවෙන් එම බලාගාරය ඉදිකිරීමේ කටයුතු තවත් වසරකින් පමණ කල් යනු ඇති බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු කියා සිටියේ මෙම තත්ත්වය මත අනිවාර්ය විදුලි කප්පාදුවක් ඉදිරියේදී ඇතිවිය හැකි බවයි.