Gossips

විදුලිය පිරිමසින්න විදුලි පහන් 2 ක් නිවන්න යෝජනා

පවතින අර්බුදය හමුවේ විදුලිය පිරිමැසීමේ යෝජනා කිහිපයක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඊට අදාළ යෝජනා ඉදිරිපත් කර ඇත්තේ විදුලිබල අමාත්‍ය රවී කරුණානායකයි.
ඉදිරි මාස 3 ක කාලය තුළ සියලූම නිවෙස්වල විදුලි පහන් 2 ක් නිවා දැමීම, රාජ්‍ය ආයතන, ආගමික සහ වානිජ ස්ථානවල විදුලි පරිභෝජනය සියයට 10 ක ප්‍රමාණයකින් අඩුකිරීම මෙන්ම අනවශ්‍ය වීථි පහන් නිවාදැමීම එම යෝජනාවලට ඇතුළත්.
එසේම විදුලි කර්මාන්තය සම්බන්ධයෙන් වූ පොදු ප්‍රතිපත්ති, මාර්ගෝපදේශ නිකුත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකටද ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ අනුව 2009 අංක විස්ස දරණ ශ්‍රී ලංකා විදුලිබල පනතේ මාර්ගෝපදේශ අහෝසි කරමින් බලශක්ති ක්‍ෂේත්‍රයේ පැන නගින ගැටළු විසඳීමේ අරමුණින් නව මාර්ගෝපදේශ නිකුත් කෙරෙනු ඇති.
ඉන්ධන විවිධත්වය සහ සුරක්ෂිතතාව, විදුලි අයක්‍රම, විදුලි උත්පාදනය, සම්ප්‍රේෂනය සහ බෙදාහැරීමේ පද්ධති, බලශක්ති සංරක්ෂණය වැනි ක්‍ෂේත්‍ර රැසක් ඊට ඇතුළත් වනවා.
එසේම පුත්තලම ගල් අඟුරු බලාගාරය සඳහා ක්‍ෂණික ගල් අඟුරු මිලදී ගැනීම් යටතේ මෙටි‍්‍රක් ටොන් තිස් ලක්ෂයක ගල් අඟුරු තොගයක් මිලදී ගැනීම වෙනුවෙන් ද ඊයේ අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්වුණා.
මේ අතර ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කර තිබුණේ විදුලි අර්බුදයට විදුලිබල මණ්ඩලයත්, මහජන උපයෝගීතා කොමිෂන් සභාවත් අතර පවතින ගැටළුකාරී තත්ත්වය හේතුවී ඇති බවයි.
දෙපාර්ශවයේ අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින්නේ රටේ ජනතාව බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.
එමෙන්ම රථවාහන මාර්ග ආලෝක සංඥා ද විදුලි කප්පාදුව සිදුවන කාලසිමාවේදී ක්‍රියාත්මක නොවන බව පොලිසීය ප්‍රකාශ කළා.
මේ හේතුවෙන් එම ප්‍රදේශ වලට අමතර රථවාහන අංශයේ නිළධාරින් රාජකාරියේ යෙදවිමට සිදුව ඇති බවයි පොලිස් රථවාහන කොට්ඨාශය සඳහන් කළේ.
මේ අතර ලංකා විදුලි සේවක සංගමය කොළඹ – කොටුව සිය කාර්යාලය ඉදිරිපිටදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
මේ එහිදී අදහස් දැක්වූ එම සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් කියා සිටියේ රජය විදුලි අර්බුදයක් නිර්මාණය කර ඇති බවයි.
විදුලිය කප්පාදු කිරීමේ කිසිදු අවශ්‍යතාවක් මේ මොහොතේ නොමැති බවද ඔහු ප්‍රකාශ කළා.