Gossips

විදුලිබල මණ්ඩලය සහ උපයෝගීතා කොමිසම ජනපතිගේ දෝෂදර්ශනයට – අර්බුදය ගැන සොයන්න අමාත්‍ය කමිටුවක්

මේ දිනවල ඇති වී තිබෙන විදුලි අර්බුදයට හේතුව, විදුලිබල මණ්ඩලයත්, මහජන උපයෝගීතා කොමිෂන් සභාවත් අතර ඇති වී තිබෙන ගැටළුව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර තිබෙනවා.
දෙපාර්ශවය අතර පවතින අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින්නේ මෙරට ජනතාව බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ.
මහජන උපයෝගීතා කොමිසම් සභාවේ සහ විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන්ගේ ක්‍රියා කලාපය මෙහිදී දැඩි ලෙස විවේචනය කර ඇති ජනාධිපතිවරයා පසුගිය වසර 4න් විදුලි අර්බුදය විසදීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවයි සදහන් කර ඇත්තේ.
මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් පරිදි විදුලි අර්බුදය සම්බන්ධයෙන් සොයා බලා එය අවසන් කිරීමට අදාළ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය කමිටුවක් පත්කර තිබෙනවා.
අමාත්‍යවරුන් වන රවී කරුණානායක, කබීර් හෂීම් සහ කැබිනට් නොවන අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා එම කමිටුවේ සාමාජිකයින්.
මේ වනවිට වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම සියයට 38.8 ක් ලෙස සටහන් වන අතර, කොත්මලේ ජලාශයේ ජල මට්ටම ඊයේ වනවිට සටහන් වන්නේ 33.8 ක් ලෙසයි.
රන්ටැඹේ ජලාශය සියයට 8.8 දක්වා සීග්‍ර පහත වැටීමක් පෙන්නුම් කරනවා.
කාසල්රී ජලාශයේද ජල මට්ටම සියයට 11 ක් ලෙස සටහන් වන අතර, මාවුස්සාකැලේ සහ සමනලවැව ජලාශවලද ජල මට්ටම අඩුවී තිබෙනවා.
වළාකුළු සහ ජල වාෂ්ප නොමැතිවීම නිසා මාවුස්සාකැලේ ජලාශය ආශ්‍රිත ප්‍රදේශවල ක්‍රියාත්මක වූ කෘත්‍රිම වැසි ඇති කිරීමේ ක්‍රියාවලියද තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.