Politics Sri Lanka

විත්ති කූඩුවට නැග්ග වීරවංසට හිටගෙන ඉන්න බැරිවෙයි

විත්ති කූඩුවට නැග්ග වීරවංසට හිටගෙන ඉන්න බැරිවෙයි

කල් ඉකුත් වූ විදේශ ගමන් බලපත්‍රයකින් විදේශ ගත ගතවීම සඳහා උත්සාහ දැරීම සම්බන්ධයෙන් නිවාස සංවර්ධන සහ ඉන්ජිනේරු සේවා පිළිබඳ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පවරා ඇති නඩුව මීගමුව මහේස්‍ත්‍රාත් අධිකරණයේ යළි කැඳවූ අවස්ථාවේ ඔහුට විත්ති කූඩුවේ සිටගෙන සිටීමට නොහැකිවීම හේතුවෙන් විත්ති කූඩුවේ පුටුවක් තබා නඩුව අවසන් වන තුරු වාඩිවී සිටීමට ඔහුගේ නීතීඥයින් මාර්ගයෙන් අධිකරණයෙන් අවසර ඉල්ලා ඇත.

ඒ අනුව ඔහුට එහි වාඩිවී සිටීමට අදිකරණය අවසර ලබා දී තිබේ.

විමල් වීරවංස මහතා සන්තකයේ තිබූ විදේශ ගමන් බලපත්‍රයේ විස්තර පරිගණකයට ඇතුළත් කළ පසු එහි “අක්‍රීය (අවලංගු) විදේශ ගමන් බලපත්‍රයක් බව පරිගණක තිරයේ දිස්වුණා” යැයි එම නඩුව මීගමුව මහේස්‍ත්‍රාත් අධිකරණයේ යළි කැඳවූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දුන් ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ බලයලත් නිලධාරි ජයන්ත රත්නායක ප්‍රකාහ කර තිබේ.

රජයේ අධිනීතිඥ දිස්නා වර්ණකුල මහත්මිය මෙහිදී පැමිණිල්ල මෙහෙය වූ අතර තවදුරටත් සාක්ෂි දුන් ජයන්ත රත්නායන මහතා…

“මම 2015 ඔක්තෝම්බර් 22 දින සවස 5ට පමණ රාත්‍රී සේවයට වාර්තා කළා. 23 දා අලුයම ප්‍රභූවරුන්ගේ පර්යන්තයෙන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විදේශ ගතවන බව මට දැනුම් දුන්නා.

අලුත් විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කරන විට එය අලුත් ගමන් බලපත්‍රයක් බවට ඉංග්‍රිසි අක්ෂරයෙන් සදහන් කර මුද්‍රාවක් තබනවා. ලංකාවේ නීතිය අනුව එක් අයකුට භාවිතා කළ හැක්කේ එක් විදේශ ගමන් බලපත්‍රයක් පමණයි. ගමන් බලපත්‍රයක් නැතිවූ විට නැවත අලුත් ගමන් බලපත්‍රයක් නිකුත් කරනවා. පරණ ගමන් බලපත්‍රය අක්‍රිය කරනවා. අක්‍රිය වූ ගමන් බලපත්‍රයකින් විදේශ ගත වීමට බැහැ. විදේශ ගමන් බලපත්‍ර පිළිබඳ සියලුම විස්තර ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලවල හා ප්‍රධාන කාර්යාලයේ පරිගණකවලට ඇතුළත් කර තිබෙනවා.”

රජයේ නීතිඥ

“එම ගමන් බලපත්‍රය අක්‍රිය එකක් බව මන්ත්‍රීවරයාට දැනුම් දුන් විට සිදුවූයේ කුමක්ද ?”

සාක්කිකරු

“මන්ත්‍රිවරයාගේ ස්වාභාවයේ වෙනස් වීමක් සිදුවුණා. මෙම විදේශ ගමන අත්‍යාවශ්‍ය ගමනත් බව ඔහු ප්‍රකාශ කළා. විමල් වීරවංශ මහතා අත ගමන් මල්ලක් තිබුණා. මන්ත්‍රීවරයා මගෙන් ඇසුවා වෙලා තියෙන්නේ කුමක්ද කියලා. ඔහු එමිරේට් ගුවන් සේවයට අයත් ඊ.කේ. 349 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා යෑමටයි පැමිණ සිටියේ. විමල් වීරවංශ මහතා සන්තකයේ තිබුණේ රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක්. විමල් වීරවංශ මහතා ඔහුගේ මුල් විදේශ ගමන් බලපත්‍රය අස්ථාන ගතවී වෙනත් ගමන් බලපත්‍රයක් ලබාගෙන තිබුණා. එය අක්‍රිය ගමන් බලපත්‍රයක් බැවින් එම අක්‍රිය ගමන් බලපත්‍රයෙන් විදේශ ගතවීමට ඔහුට නොහැකි බව දැනුම් දුන්නා. ඔහු විදේශ ගත වීමට පැමිණියේ නැතිවුණා යැයි කියන විදේශ ගමන් බලපත්‍රයද සමඟයි.”

අවිධිමත් ගමන් බලපත්‍රයකින් විදේශගත වීමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි විට ගුවන් තොටුපළ බළධාරින් විසින් වීරවංශ මහතා අත්අඩංගුවට ගන්නා ලද්දේ 2015 ඔක්තෝබර් 23 දීය.

නඩුව ආරම්භයේදීම සාක්ෂිකරු මීට පෙර දෙන ලද සාක්කිවල සටහන් කිහිපයක් නිවැරදි විය යුතු යැයි රජයේ අධිනීතිඥවරිය අධිකරණයේ අවධානය යොමුකර එය පැමිණිල්ලේ සහ විත්තියේ එකඟතාව මත නිවැරදි කරනු ලැබීය.

මෙදින විත්තියේ නීතිඥ මහත්වරුන්ගේ ඉල්ලීම පරිදි විමල් වීරවංශ මහතාට විත්ති කූඩුවේ පුටුවක් තබා නඩුව අවසන් වන තුරු වාඩිවී සිටීමට අධිකරණයෙන් අවසර ලැබිණි.

නැවත විභාගය ජුනි 14දා කැඳවීමට නියමිතය.