1989 රජයේ ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව අතුරුදන්ව ඇතැයි පැවසෙන ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර නිසි අධිකරණයක් හමුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ ගොනු කළ හබයාස් කෝපුස් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (15) නියෝග කළා.
මෙම සිද්ධිය සිදුවී වසර 30කට ආසන්න කාලයක් ගත වන තුරු කිසිදු අධිකරණ සහනයක් ලබා ගැනීමට කටයුතු නොකිරීමේ පදනම මත පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණ විනිසුරුවන් වන දීපාලි විජේසුන්දර සහ විනිසුරු අර්ජුන ඔබේසේකර පියවර ගෙන තිබුණා.
රෝහණ විජේවීරගේ බිරිඳ වන ශ්‍රීමතී චිත්‍රාංගනී විජේවීර විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළ අතර, එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා ඇතුළු 11 දෙනෙකු නම් කර තිබුණා.
සිය පෙත්සමෙන් ඇය පවසා තිබුණේ 1989 නොවැම්බර් 12 වන දා උලපනේ ප්‍රදේශයේදී රජයේ ආරක්ෂක අංශ මගින් තම සැමියා අත්අඩංගුවට ගත් බවයි.
ඉන් අනතුරුව මේ දක්වා ඔහු සම්බන්ධයෙන් කිසිදු කරුණක් අධිකරණයක් හමුවට ඉදිරිපත් කර නොමැති බව ඇය එමගින් සදහන් කර තිබුණා.
සිය සැමියා අත්අඩංගුවට පත්ව මේ වන විට වසර 29කට ආසන්න කාලයක් ගත වී ඇතත් ඔවුන් ජීවතුන් අතර සිටින්නේ ද නැත්ද යන්න පිළිබදව පවා රජය නිත්‍යානුකූලව තමාට දැනුම් දී නොමැති බවයි පෙත්සම්කාරිය ප්‍රකාශ කර තිබුණේ.