Gossips

විජිතපුර බලකොටුව ආසන්නයේ ඩෝසර් කිරීම ගැන සෙවීමට ගිය සිවිල් ආරක්ෂක කමිටු නිලධාරියෙකුට ප්‍රහාරයක්

පසුගියදා කථාබහට ලක්වූ විජිතපුර – එළාර රජුගේ බලකොටුව ආසන්නයේ පිහිටි කැලෑබද ප්‍රදේශයක් ඩෝසර් කිරීමේ සිද්ධියක් සොයා බැලීමට ගිය සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයෙකුට පහරදීමක් සිදුව තිබෙනවා.
දුටුගැමුණු භාවනා මධ්‍යස්ථානය නැමැති ආරණ්‍යයක් සඳහා භාවනා කුටි දෙකක් එහි ඉදි කිරිමට ගිය හිමි නමක විසින් තමන්ට මෙම පහරදීම සිදු කළ බවයි අංක 493 විජිතපුර සිවිල් ආරක්ෂක කමිටුවේ ලේකම් නලින් විජේසිංහ කියා සිටියේ.
අප මේ සම්බන්ධයෙන් පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවලගෙන්ද විමසා සිටියා.
ඔහු සඳහන් කළේ අදාළ ප්‍රදේශය පුරාවිද්‍යා රක්ෂිතයක් නොවන නමුත් භූමිය ඩෝසර් කිරිම නවතා දැමීමට පියවර ගත් බවයි.
කෙසේ වෙතත් අලූතින් ඩෝසර් කළ ප්‍රදේශයද දුටුගැමුණු රජුගේ බල කොටුවට අයත් බවට සැලකෙන පුරා විද්‍යා ස්ථානයක් බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ඉපලෝගම පොලීසියෙන්ද කරුණු විමසා සිටි අතර, එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ පහර දීම සම්බන්ධයෙන් පාර්ශවයන් දෙකෙන්ම පැමිණිලි ලැබුණු බවයි.
පසුව එය සමථයකට පත් කිරීමට කටයුතු කළ බව එම උසස් නිලධාරියා කියා සිටියා.