Gossips

විජිතපුර නිවාස ව්‍යාපෘතියේ මුල්ගල හිටපු ඇමති මර්වින් ගලවා දමයි (ඡායාරූප)

විනාශයට ලක්වූූ එළාර රජුගේ විජිතපුර පරිවාර බලකොටුව ලෙස සැළකෙන පුරාවිද්‍යා භූමිය නිරීක්ෂණය කිරීම සඳහා අද (12) එහි පැමිණි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා නිවාස ව්‍යාපෘති ඉදිකිරීම සදහා නිවාස සංවර්ධන අධිකාරිය තැබූ මුල්ගල ඉවත් කරනු ලැබුවා.
පසුව ඔහු එම ස්ථානයේ දුටුගැමුණු රජු වෙනුවෙන් පහන් දල්වා යාතිකාවක් ද සිදුකර තිබෙනවා.
පසුගිය දා විජිතපුර බලකොටුවේ පුරාවස්තු විනාශයට ලක්වී ඇති බව අප අනාවරණ කිරීමෙන් පසු එහි වගකීම නිවාස සංවර්ධන අධිකාරිය විසින් භාර ගනු ලැබූ අතර, එහි අනුරාධපුර දිස්ත්‍රික් කළමනාකාරිණිය සහ තවත් නිලධාරියෙකුගේ ද වැඩ තහනම් කිරීමට පියවර ගත්තා.
එමෙන්ම, මෙම සිද්ධිය සැලවීමත් සමඟ පසුගිය දින කිහිපයේම විවිධ ස්වේච්ඡා සංවිධාන හා බෞද්ධ සංවිධාන වල නියෝජිතයින් එම ස්ථානයට පැමිණ සිද්ධියට වගකිව යුත්තන්ට දඬුවම් ලබාදෙන ලෙසට ඉල්ලීම් සිදුකළා.
ඩෝසර් කිරීමට ලක් කෙරුණු විජිතපුර පුරාවිද්‍යාත්මක ස්ථානය නිරීක්ෂණයෙන් අනතුරුව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා කියා සිටියේ මෙම සිද්ධියට සම්බන්ධ වූවන්ට දඬුවම් ලබාදිය යුතු බවයි.
කෙසේ වෙතත්, නිවාස ව්‍යාපෘතියට මුල් ගල තැබූ එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ අද (12) කැකිරාවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ප්‍රාදේශීය ලේකම්වරිය, ග්‍රාම නිලධාරිවරයාට සහ තාක්ෂණ නිලධාරියාට මෙම වරදින් මිදීමට හැකියාවක් නොමැති බවයි.
නමුත්, පසුගිය අප්‍රේල් 09 වනදා මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ ප්‍රකාශ කළේ අදාළ ව්‍යාපෘතිය කුමන බාධා පැමිණියත් සිදුකරන බවයි.

ඡායාරූප – දඹුල්ල, කාංචන කුමාර