Gossips

විජිතපුර නටඹුන් වැනසූ නිලධාරින්ට වැඩ වරදී

නිවාස ව්‍යාපෘතියක් සදහා අනුරාධපුර – විජිතපුර ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක භූමිය විනාශ කළ රාජ්‍ය නිලධාරින්ට සහ අදාළ කොන්ත්‍රාත්කරුවාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ නැවත එම ස්ථානය සකස් කොට අදාළ පුරාවස්තු ස්ථාපිත කිරීම සදහා යන වියදම් ද අදාළ ආයතනවලින් ලබා ගැනීමට කටයුතු කරන බවයි.
මෙලෙස විනාශ වී ඇත්තේ අනුරාධපුර – ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බැලූම්ගල නම් පුරාවිද්‍යාත්මක ප්‍රදේශයක්.
දුටුගැමුණු – එළාර අවසන් යුද ගැටුම් පැවති විජිතපුර බලකොටුව ආසන්නයේ පිිහිටා ඇති මෙම ප්‍රදේශය එළාර රජුගේ සෙබළුන් ඔත්තු බැලීම සදහා භාවිතා කළ බව සදහන් වනවා.
නිවාස සංවර්ධන අධිකාරිය විසින් නව ගම්මානයක් ඉදිකිරීම සදහා සිදුකළ එලිපෙහෙලි කිරීමකදී මෙම පුරාවස්තු විනාශයට ලක්ව තිබුණා.
ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් සජිදා භානු ඊයේ අප කළ විමසීමකදී කියා සිටියේ අදාළ පුරාවස්තු පිහිටි ස්ථානය විනාශ වී ඇති බව තමන් පිළිගන්නා බවයි.
නිවාස සංවර්ධන අධිකාරියට එම භූමි ප්‍රමාණය ලබාදුන්නේ එහි පුරාවිද්‍යාත්මක වටිනාකම පිළිබඳව නොදැනුවත්ව සිටි නිසා බවද ඇය කියා සිටියා.
කෙසේ වෙතත්, අප කළ විමසීමේදී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල කියා සිටියේ මෙහි ඇති පුරාවිද්‍යාත්මක වටිනකාම පිළිබදව ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මීට පෙර දැනුවත් කර තිබුණ ද අදාළ එලිපෙහෙලි කිරීම් සිදුකරන අවස්ථාවේ තම දෙපාර්තමේන්තුව දැනුවත් කර නොමැති බවයි.