Gossips

විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය ගැන, නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියට

එල්.ටී.ටී.ඊ. සංවිධානයට පුනර්ජීවනයක් ලබාදෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් සිදුකළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ විමර්ශන අනුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ඒ සඳහා විජයකලා මන්ත්‍රීවරියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් වන පොලිස් විමර්ශන වාර්තා මේ වන විට අධ්‍යනය කරමින් සිටින බවයි එහි උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.
විජයකලා මහේෂ්වරන් මන්ත්‍රිවරියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව කථානායකවරයා මීට පෙර නීතිපතිවරයා වෙතින් විමසීමක් කර තිබුණා.
ඒ අනුව නීතිපතිවරයා දැනුම් දී ඇත්තේ ඇයට එරෙහිව කවර ප්‍රතිපාදන යටතේ ක්‍රියාමාර්ග ගත හැකි ද යන්න අධ්‍යයනය කර පියවරක් ගනු ලබන බවයි.
කෙසේ නමුත්, මන්ත්‍රීවරිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇත්ද යන්න තීරණය කළ යුත්තේ අධිකරණය විසින් බව නීතිපති දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.
1983 වසරේ සම්මත කර ගැනුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වන සංශෝධනයට අනුව බෙදුම්වාදය ප්‍රතික්ෂේප කරන බවට දිවුරුම් දුන් මන්ත්‍රීවරයෙකු හෝ මන්ත්‍රීවරියක එය උල්ලංගණය කරන්නේ නම්, මන්ත්‍රී ධුරය අහිමි වනවා.
1983 වසරේදී එවකට විපක්ෂ නායක ධුරය හෙඹවූ ඒ. අමිර්තලිංගම්ගේ මන්ත්‍රී ධුරය අහිමි වූයේ ඒ ආකාරයෙන්.
මේ අතර, හිටපු රාජ්‍ය ඇමතිනී, විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලබා ගත් ප්‍රකාශ සටහන් ඇතුලත් වාර්තාව නීතිපතිවරයා වෙත භාරදී ඇති බව පොලීසිය පසුගියදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
විමර්ශන සිදුකරන පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රකාශ 59 ක් ඊට අදාළව සටහන් කරගෙන ඇති බවයි.
මැති ඇමතිවරුන් හය දෙනෙකු, රාජ්‍ය නිලධාරින් 14 දෙනෙකු සහ මාධ්‍යවේදීන් 30 දෙනෙකු එම ප්‍රකාශ ලබාදී තිබුණා.
එහිදී කරුණු සලකා බැලූ අධිකරණය නඩුව ඔක්තෝම්බර් 19 වනදා යළි කැඳවීමට නියෝග කළා.